Sunday, 11 October 2009

අත්දැකීම් හුවමාරුකර ගැනීමේ කලාවක්



රිවර්තනයක් යනු කිසියම් සාහිත්‍යයක් භාෂාවකින් තවත් භාෂාවකට පෙරළීමයි. සාහිත්‍යය භාෂා පරිවර්තනයේදී එහි අන්තර්ගත වන සමාජ දෘෂ්ටිය සලකා බැලීම වැදගත් ය. සමාජ දෘෂ්ටියක් නොමැති සාහිත්‍යයක් එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට පරිහරණය කිරීමට ඉඩ සැලැසීම සඳහා වෙහෙස දැරීම නිශ්ඵල කටයුත්තකි.

එමෙන්ම භාෂා පරිවර්තකයකු පරිවර්තනයක් කිරීමේදී තමා තෝරා ගන්නා මූලාශ්‍රය කෘතිය සමාජ දෘෂ්ටියක් සහිතව පවතින්නේ ද යන්න විමසා බැලිය යුතු ය. සමාජ දෘෂ්ටියක් සහිත සාහිත්‍ය නිර්මාණ සමාජයේ යම් වෙනස්කම් කිරීමට දායකත්වය ලබා දීමට සමත් ය. එමෙන්ම සමාජයේ යම් වෙනස්කම් පාදක කර ගනිමින් ඒ ඇසුරේ බිහි කෙරුණු සාහිත්‍ය නිර්මාණ ද බෙහෙවින් ජන ප්‍රසාදයට පාදක වූ බව පෙනේ.

උදාහරණයක් ලෙස කාර්මික විප්ලවය හේතුවෙන් භෞතිකව වෙනස් වූ සමාජය බිහි කළ සාහිත්‍ය නිර්මාණ හඳුනා ගත හැකි ය. කාර්මික විප්ලවයෙන් පසු යුරෝපා සමාජය සියල්ල දෙස භෞතිකවාදී පදනමකින් බැලීම ඇරැඹීය. ඒ සමග සාහිත්‍යකරුවා ද වෙනස් වූයේ ය.

ඔවුහු එතෙක් පැවැති වර්ණනාත්මක සාහිත්‍යය බැහැර කර යථාර්ථය නිරූපණය කරන නිර්මාණ බිහි කිරීම ඇරැඹූහ. චාල්ස් ඩිකන්ස් ඒ සඳහා අගනා උදාහරණයකි. ඔහු තම නිර්මාණ මගින් ගරාවැටුණු නාගරික සංස්කෘතියේ මිනිස් ජීවිත ගැන කථා කළේ ය. වෝල්ටර් ඇලන් නම් විචාරකයා පවසන්නේ චාල්ස් ඩිකන්ස් එංගලන්ත සමාජය කැඩපතක් ලෙස භාවිත කරමින් පාලකයාට ප්‍රතිසංස්කරණ ගෙන එන්නට තම නිර්මාණ මඟින් බලපෑම් කළ බවයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මිනිසා උත්පත්තියෙන්ම දුෂ්ට ගති සහිත සත්වයෙක් ය යන මතය ඉස්මතු විය. මෙම මතවාදය බොහෝ සාහිත්‍යකරුවන්ගේ නිර්මාණවලට ප්‍රබල බලපෑම් කිරීමට සමත් විය. ඒ මතවාදය ඔස්සේ බිහිවූ සිනමාපට, ප්‍රබන්ධ, මෙන්ම චිත්‍ර, මූර්ති සහ කාව්‍ය නිර්මාණ ද බොහෝ ය.

රුසියානු සාහිත්‍යකරුවෝ යුද්ධයට, රටවල් ආක්‍රමණයට මෙන්ම මිනිසුන්ගේ ශ්‍රමය සූරා කෑමට ද එරෙහිව නිර්මාණ බිහි කළහ.

මෙලෙස ලොව කලින් කල බිහිවූ විවිධ සාහිත්‍ය ප්‍රවණතා හඳුනාගත හැකිය. එහෙත් භාෂා සහ සංස්කෘතික විවිධත්වය නිසා මිනිසාට පොදුවේ එක්ව මෙම නිර්මාණ රස විඳීමේ වාසනාව අහිමි ය.

භාෂා පරිවර්තනය ඉදිරිපත් වී මකා දමන්නේ මෙලෙස ඇති වූ හිදැස ය. තවත් ලෙසකින් මෙය සාහිත්‍යය පරිවර්තනය යන එක් රටක ජනතාව අත්විඳි අත්දැකීම් තවත් රටක ජනතාවට අත්විඳීමට සැලැස්වීම යනුවෙන් හඳුන්වා ගත හැකි ය. සාහිත්‍යකරුවාට සමාජය රැවටීමේ හැකියාව ද තිබේ. නිරුවත් වානරයා නම් වන ප්‍රසිද්ධ කෘතිය සම්පාදනය කිරීමෙන් ඩෙස්මන්ඩ් මොරිස් උත්සාහ දැරුවේ මිනිස් වර්ගයා ස්වභාවයෙන්ම කලහකාරී සත්ත්වයෙක් බව ඔප්පු කර පෙන්වීමටය.

බටහිර ලෝකය පුරා ඔහුගේ මතවාදයට පදනමක් වැටෙමින් තිබුණි. ඇමරිකාව වියට්නාමය ආක්‍රමණය කරන්නේ මේ යුගයේදීය. ලෝකය පුරා ප්‍රචලිත වෙමින් තිබු ඩෙස්මන්ඩ් මොරිස් ගේ මතවාදය ඇමරිකාවට තම ක්‍රියාව සාධාරණීකරණය කර ගැනීමෙහි ලා අවාසියක් විය. එබැවින් ඇමරිකාව මිනිසාගේ යහගුණ මතුකර පෙන්වා දෙන සාහිත්‍යයක් වර්ධනය කිරීමට අත හිත දුන්නේ ය.

නොබෙල් ත්‍යාගයට 1949 වසරේදී හිමිකම් කී විලියම් ෆෝක්නර් ඒ අවස්ථාවේදී උත්සව සභාව අමතමින් මෙසේ කීවේ ය.

“මිනිසාගේ කෙළවර ළඟා වී ඇත. එය පිළිගැනීමට මා ලෑස්ති නැත. මේ සියල්ල විඳ දරා ගැනීමට මිනිසාට ආත්ම ශක්තිය තිබිය යුතුය. ලේඛකයාගේ යුතුකම වාර්තා කිරීම පමණක් නොවේ. ඔහු මිනිසාගේ ජීවිතයේ පැවැත්මට ද උපකාරී විය යුතුය. අතීතයේ සිදු වී ඇත්තේ ද එයයි.”

මෙවන් වූ අගයන් සහිත සාහිත්‍යයක් ජාති, ආගම්, භාෂා, සංස්කෘතික භේදයන්ට කොටු නොවී සමස්ත මිනිස් වර්ගයා අතරම පැතිරේ නම් එය හේතු වන්නේ මිනිස් වර්ගයාගේම යහපතට ය.

ලෝක සාහිත්‍යය වර්ගීකරණයන් අතුරෙන් යුද සාහිත්‍යයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එමෙන්ම යුද සාහිත්‍යයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ද හිමි වේ. උදාහරණයක් ලෙස හෝමර් නම් ගී‍්‍රක මහා කවියා විසින් රචනා කරනු ලැබු ඉලියඩ් සහ ඔඩිසි මහා කාව්‍යයත් දැක්විය හැකි ය. යුද්ධය අත්දැකීම් කර ගත් නිර්මාණ පසුකාලීනව වැඩි වශයෙන් එළි දැක්වෙන්නට විය.

යුද්ධය සුලබ වීම ඊට හේතු පාදක වූවාට සැක නැත. ශ්‍රී ලංකාවේ ඓතිහාසික සාහිත්‍යය නිර්මාණ කොතෙක් පැවැතිය ද යුද සාහිත්‍යයක් පැවැති බවට අවශ්‍ය තරම් උදාහරණ හමුවන්නේ නැත. ථූපවංශයේ දස මහා යෝධයන් ගැන සඳහන් වුවද එය ප්‍රමාණවත් යුද සාහිත්‍යයක් ලෙස හුවා දැක්විය නොහැකිය. ලංකාවට සාපේක්ෂව ලෝකයේ සෙසු බොහෝ රටවල යුද සාහිත්‍යය වර්ධනය විය. ජපානය ඒ සඳහා හොඳම උදාහරණයකි.

ජපානය ලෝක ඉතිහාසයේ ආක්‍රමණ රැසකටම මුහුණ දුන් රටකි. ඒ හේතුවෙන් ඔවුන්ගේ රට රැක ගැනීමට සාම්ප්‍රදායක් ලෙස ආරක්ෂක හමුදාවක් පවත්වා ගැනීම අවශ්‍ය විය. ඒ අවශ්‍යතාව මත බිහි වූ හමුදාව සමුරායිවරුන් ලෙස හඳුන්වනු ලැබීය. පාලන තන්ත්‍රය ඔවුන් අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පාදනය කළ අතර ඔවුහු පූර්ණ කාලීනව රට රැක ගැනීමේ ක්‍රියාවලියේ නිරතව සිටියහ. යුරෝපා රටවල ජනයා නවීන අවි ආයුධත් සමඟ යටත් විජිත බිහිකර ගැනීම ආරම්භ වූ පසු සමුරායිවරු ඔවුන්ට සැබෑ තර්ජනයක් වූහ.

එවිට යුරෝපීයයෝ තම නූතන අවි ආයුධවල බලය පෙන්වමින් සමුරායිවරු හෙළා දැකීම, පහත් කොට සැලකීම ආරම්භ කළහ. නවීන අවි ආයුධ හමුවේ සමුරායිවරු පරාජය වන බව ඔවුහු අපහාසාත්මක ලෙස පෙන්වා දෙන්නට වූහ. මේ මතයට එරෙහිව ජපාන සාහිත්‍යකරුවෝ නැගී සිටියහ. ඔවුහු සමුරායිවරු ගැන ප්‍රබන්ධ කථා නිර්මාණය කළහ. ඔවුන්ගේ වීරත්වය ප්‍රකාශ කෙරෙන අතීත කථා එකතු කර සමාජයට ඉදිරිපත් කළහ. මේ ක්‍රියා හේතුවෙන් අවසානයේ ජපානයේ විශිෂ්ට යුද සාහිත්‍යයක් බිහි විය. යුජි යොෂිකාවා ගේ සමුරායි රණබිම නම් වන නවකථාව ඒ සඳහා මනා උදාහරණයක් වේ.

ලෝක යුද සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ලෙස චීන යුද සෙනෙවියකු වූ සත් ත් සු විසින් රචනා කරනු ලැබූ යුධ කලාව කෘතිය හඳුන්වා දිය හැකිය. ඔහු තම සාහිත්‍යය කෘතිය බිහි කිරීමේ අරමුණ ලෙස පාදක කර ගත්තේ චීනය ආරක්ෂා කිරීමයි. ඔහු තම කෘතිය මඟින් රජුට උපදෙස් දුන්නේ එහි සඳහන් වන පරිදි ක්‍රියා කර චීනය බේරා ගැනීමට හෝ නැතහොත් විනාශ වී යාමට ය.

රජු සත් ත් සු ගේ උපදෙස් පිළිගෙන යුද කලාව ග්‍රන්ථයේ සඳහන් පරිදි ක්‍රියා කොට චීනය ආරක්ෂා කර ගත්තේය. එපමණක් ද නොව වර්තමානයේ දී ද චීනය සහ ජපානය ඇතුළු බොහෝ රටවල් සත් ත් සු ගේ නියාම ධර්මයන්ට අනුව ක්‍රියා කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ දී යුද කලාව ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය වී තිබේ.

සැබැවින් ම මෙම යුද කලාව ග්‍රන්ථය යුද්ධයේදී පමණක් නොව නූතන අලෙවිකරණයේදී ද බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව හඳුනාගෙන තිබේ. යුද්ධයේදී මෙන්ම අලෙවිකරණයේදීත් තම අභිප්‍රායන් කරා සාර්ථකව ළඟා වීමට සත් ත් සු යුද සෙනෙවියාගේ උපදෙස් සාර්ථක ලෙස යොදා ගත හැකි ය.

No comments:

Post a Comment