ඇතැම් බටහිර විචාරකයන් තෝල්ස්‌තෝයිගේ ශේ්‍රෂ්ඨතම නවකතාව වශයෙන් සලකන්නේ යුද්ධය හා සාමය නොව ඇනා කැරණිනාය. තෝල්ස්‌තෝයි විසින් ඇනා කැරණිනා නවකතාව රචනා කළේ යුද්ධය හා සාමය රචනා කිරීමෙන් පසුවය. ටෝල්ස්‌ටෝයි විසින් යුද්ධය හා සාමය රචනා කිරීම ආරම්භ කළේ 1863 දීය. එනම් එවිට ටෝල්ස්‌ටෝයිට වයස අවුරුදු තිස්‌පහකි. යුද්ධය හා සාමය රචනා කර අවසාන වන විට ටෝල්ස්‌ටෝයිට වයස අවුරුදු 41 කි. එනම් එය අවසන් කරනු ලැබුවේ 1869 වර්ෂයේදීය. යුද්ධය හා සාමය නව කතාව රචනා කිරීම සඳහා ටෝල්ස්‌ටෝයි යොදා ගන්නේ හමුදා නිලධාරියෙකු ලෙස ස්‌වකීය අත්දැකීම්ය.
ටෝල්ස්‌ටෝයි ඇනා කැරණිනා ලියන්නට පටන් ගත්තේ 1873 වර්ෂයේදීය. එවිට ටෝල්ස්‌ටෝයිට වයස අවුරුදු හතළිස් පහකි. එය ලියා අවසන් කරන ලද්දේ 1877 වර්ෂයේදීය. කෙසේ වුවත් ඇනා කැරණිනා නව කතාව සැබැවින්ම නම් කරන්නට තිබුණේ ඇනා කැරණිනා කියා නොවේ ලෙවින් කියාය. මක් නිසාද යත් එම නව කතාවේ ප්‍රධාන චරිතය ඇනා නොව ලෙවින් බැවිනි. ටෝල්ස්‌ටෝයි යුද්ධය හා සාමය නව කතාවට වස්‌තු විෂය කර ගත්තේ හමුදා නිලධාරියෙකු ලෙස තමන් සතු අත්දැකීම් නම් ඇනා කැරණිනා නවකතාව සඳහා වස්‌තු විෂය කරගත්තේ ගොවියෙකු ලෙස ස්‌වකීය අත්දැකීම් යෑයි කිව හැකිය.
රුසියාවේ කෘෂිකර්මයත් ගොවි ජනතාවත් නඟා සිටුවීම සඳහා ටෝල්ස්‌ටෝයි ඉතා විශාල උත්සාහයක් ගත්තේය. පෑනෙන් පමණක් නොව උදැල්ලෙන්ද ජීවිතයේ අර්ථය සෙවීමට ටෝල්ස්‌ටෝයි උත්සාහ කළේය. රදළයෙකු වුවත් ටොල්ස්‌ටෝයි ස්‌වකීය ප්‍රවේණිදාසයන් සමග කෙතේ දහදිය හෙළමින් වැඩ කළේය. ඇනා කැරණිනා නව කතාවේ ලෙවින් නම් චරිතය මගින් දැක්‌වෙන්නේ ටෝල්ස්‌ටෝයි මෙසේ ලද අත්දැකීම්ය.
ඇනා කැරණිනා නම් චරිතය මගින් නිරූපණය වන්නේ රුසියානු ඉහළ සමාජයේ හිස් ජීවිතය තුළ අතරමං වීම නිසා ජීවිතය ෙ€දවාචකයක් කර ගන්නා චරිතයක් නම් ලෙවින් මගින් නිරූපණය වන්නේ ඒ හිස් ඇගැයුම් වෙතින් මිදී දුක් විඳින ගොවි ජනතාවගේ ඒ දුක බිඳකින් හෝ අඩු කිරීම ස්‌වකීය ජීවිතය පරමාර්ථය කරගත් උදාර චරිතයකි.
ලෙනින් විසින් තෝල්ස්‌තෝයි රුසියානු විප්ලවයේ කැඩපත වශයෙන් හඳුන්වනු ලැබිණි. ලෙනින් උපතින් ලද නම වූයේ ව්ලැඩිමීර් ඉල්යච් උල්යානොවිය. ලෙනින් යනු පසුව ආරූඪ කරගත් නමකි. ව්ලැඩිමීර් ඉල්යීච් උල්යානොව් විසින් ලෙනින් යන නම හදා ගත්තේ ඇණා කැරණිනා පොතේ එන ලෙවින් යන නම ඇසුරින්ද? ලෙනින් විසින් තෝල්ස්‌තෝයිව රුසියානු විප්ලවයේ කැඩපත ලෙස හැඳින්වීමට එක් හේතුවක් එයද? එනම් ස්‌වකීය නම ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ද කෘතවේදීත්වයක් තෝල්ස්‌තෝයි සම්බන්ධයෙන් ලෙනින්ගේ හද තුළ පැවතියේද?
මට රුසියානු භාෂාව ගැන දැනීමක් නැත. අප රුසියන් පොත් කියවන්නේද සිංහල පරිවර්තන වලිනි. නැතිනම් ඉංගී්‍රසි පරිවර්තන වලිනි. එහෙත් රුසියානු කතාවල එන නම් බැලූ විට ලෙවින් මෙන්ම ලෙනින් යන නම් දෙකම සාමාන්‍යයෙන් හමුවන රුසියන් නම්වලට වෙනස්‌ය. ඒ අනුව ලෙනින් යන නම සැබවින්ම ලෙනින් විසින් නිර්මාණය කර ගත්තේ ඇණා කැරණිනා නවකතාවේ එන ලෙවින් නම ඇසුරින්ද? එය එසේ නම් රුසියානු විප්ලවයට කැඩපත පමණක් නොව රුසියානු විප්ලවයේ නායකයා වූ ලෙනින්ට නම සපයන ලද්දේ ද ටෝල්ස්‌ටෝයි විසිනි.
එක්‌කෝ අයෙකුට ලැබෙන්නේ ධනය පමණි. නොඑසේනම් බලය පමණි. ධනය ඇති බොහෝ අයට කීර්තිය නැත. ලොකු මුදලාලි ඡන්දය ඉල්ලන්නේ ඒ නිසාය. සමහර අයට ධනය බලය සියල්ල තිබුණත් පෙළපතක් නැත. ධනය, බලය, පෙළපත සියල්ල ඇති සමහර අයට කඩවසම් රූපයක් නැත. සමහරවිට කඩවසම් ලස්‌සන රූපයක් තිබුණත් ගහ බැන ගැනීමට තරම් ශක්‌තිමත් සිරුරක් නැත. එහෙත් ටෝල්ස්‌ටෝයිට මේ කිසිවකින් අඩුවක් වූයේ නැත. ඔහු ධනයට, බලයට, පෙළපතට, කීර්තියට පමණක් නොව ශක්‌තිමත් හා කඩවසම් සිරුරකටද උරුමකම් කීවේය. ඔහුගේ ජීවිතයේ වාසනාව මෙන්ම අවාසනාවද වූයේ එයය.
ටෝල්ස්‌ටෝයි ඉපදුනේ රුසියාවේ සාර් රජ පවුලට ද නෑකම් කිව් ඉහළම රදළ පවුලක. විශාල වතුයායකට හා ප්‍රවේණි දාසයන්ට හිමිකම් කියමිනි. සැප සම්පත් මැද හැදුනේය. පසුව හමුදා නිලධාරියෙක් බවට පත්විය. එහෙත් බොහෝ හමුදා නිලධාරීන්ට නොලැබෙන අන්දමේ කීර්තියක් ඔහුට ඒ වන විට නිර්මාණකරුවෙකු වශයෙන්ද ලැබී තිබිණි. හමුදා සේවයෙන් ඉවත් වූ පසුව ස්‌වකීය වතු පිටි ඉඩකඩම්වලින් ලද ආදායමට ද වඩා විශාල ආදායමක් ඔහුට ඔහු ලිවූ පොත්වලින් ලැබෙන්නට විය. විශේෂයෙන්ම රුසියාව තුළටත් වඩා ඔහුගේ කෘතිවල පරිවර්තන විදේශයන්හි අලෙවි වීම නිසා ඔහු වෙත විශාල වශයෙන් විදේශ මුදල් ද ගලා එන්නට වූවේය. ඒ ලේඛකයෙකු ලෙස ලබන්නට වූ ඉමහත් කීර්තියට අමතරවය. ඒ අනුව ධනය, බලය, නිලය, කීර්තිය, රූපය, සවි ශක්‌තිය මේ කිසිවකින්වත් ලියෝ ටෝල්ස්‌ටෝයිට කිසිම අqඩුවක් වූයේ නැත. එහෙත් එය ඔහුගේ ජීවිතයේ වාසනාව මෙන්ම අවාසනාව විය.
ඒ කෙසේ ද? ජීවිතය ගැන දුක් නොවීමට තරම් දේවල් ඔහුට ජීවිතය විසින් ලබා දුන්නේය. ජීවිතයට ආසා කිරීමට, ඇලුම් කිරීමට තරම් බොහෝ දේ ඔහුට ජීවිතය විසින් ලබාදෙන ලදී. එහෙත් ටෝල්ස්‌තෝයි ප්‍රඥවන්තයෙක් විය. ඒ සියල්ල නිශ්චිත නොවන බවද ඒ සියල්ල දමා තමන්ට කිසි දිනක යන්නට සිදුවන බවද ඔහුගේ සිත ඔහුට කීවේය. අත්හැර දමා යැමට බැරි තරම් ධනයක්, කීර්තියක් ජීවිතය විසින් ටෝල්ස්‌ටෝයිට ලබා දුන්නේය. එහෙත් ඒ සියල්ලම දමා තමන්ට යන්නට සිදුවන බව ටෝල්ස්‌ටෝයි දැන සිටියේය.
කෙසේ වුවත් සිද්ධාර්ථ කුමාරයාණන්ට මෙන් සත්‍යය පසක් කර ගැනීමට තරම් සසරේ ටෝල්ස්‌ටෝයි පෙරුම් පුරා නොතිබෙන්නට ඇත. ඒ නිසා ස්‌වකීය ජීවිත කාලය තුළ සත්‍යය සහමුලින්ම සාක්‌ෂාත් කර ගන්නට, විමුක්‌තිය ලබාගන්නට ටෝල්ස්‌ටෝයිට නොහැකි වන්නට ඇත. එහෙත් සිදුහත් කුමරුන්ගේ ශේ්‍රෂ්ඨත්වය බුදුදහමෙහි උත්තරීතරත්වය වටහා ගැනීමට උපකාරී වන දැනුමක් තෝල්ස්‌තෝයිගේ නවකතා කෙටිකතා ලියුම් කියුම් හා වෙනත් නිර්මාණ තුළින් ලබාගත හැකිය. සිදුහත් කුමරුන් කල කිරුණේ කුමක් ගැනද ඔහු සෙවූ සත්‍යය කුමක්‌ද යන්න ගැන විසිවන සියවසේ ශිෂ්ටාචාරය තුළ වාසය කරන්නෙකුට අවබෝධ කර ගැනීමට උපකාරී වන දැනුමක් ටෝල්ස්‌ටෝයි කියවීමෙන් ලැබිය හැකිය. මා ටෝල්ස්‌ටෝයි තුළ දකින ශේ්‍රෂ්ඨත්වය එයයි.
එනම් තමන් ලද ධනයෙන්, බලයෙන්, කීර්තියෙන්, සම්මානවලින් ටෝල්ස්‌ටෝයි සෑහීමකට පත්වූයේ නැත. එයට වඩා සැනසීමක් ජීවිතය තුළ තිබෙන බව හා තිබිය යුතු බව සිතමින් ටෝල්ස්‌ටෝයි එය සෙවීමට උත්සුක වූවේය. ලෝකය විවිධ හේතූන් නිසා ටෝල්ස්‌ටෝයිට ගරු කරති. එහෙත් බෞද්ධයෙකු වශයෙන් මට ටෝල්ස්‌ටෝයි ශේ්‍රෂ්ඨ වන්නේ එතුමන්ගේ ජීවිතය බුදුදහමෙහි දැක්‌වෙන සත්‍යය සොයා යැමට කැපවූ ජීවිතයක් මෙන් මට පෙනී යන නිසාය.
මේ අනුව මා ටෝල්ස්‌ටෝයි චරිතය උපයෝගී කරගන්නේ එතුමාගේ චරිතයෙහි ශේ්‍රෂ්ඨත්වය ඔබට පෙන්වා දීමට නොව අපට උපතින්ම ලැබී ඇති සිංහල බෞද්ධ සංස්‌කෘතික උරුමයෙහි ශේ්‍රෂ්ඨත්වය ද ඔබට පෙන්වාදීම සඳහාය.
උදයසිරි වික්‍රමරත්න
http://www.divaina.com/2009/10/11/siya02.html
No comments:
Post a Comment