Sunday, 11 October 2009

මධුර යාමේ ගී ප්‍රසංගය

මධුර යාමේ ගී ප්‍රසංගය

ඔක් : 29 දා B. M. I. C. H හිදී

ආර්. මුත්තුසාමි නම් වූ අති විශිෂ්ට සංගීතවේදියාණන් පිළිබඳ කතාබහක්

1928 ජනවාරි 05 වැනි දින දකුණු ඉන්දියාවේ නාගර්කෝවිල්හි උපන් රාමයියා මුත්තුසාමි ශ්‍රී ලාංකික සංගීත රසිකයා අතර ප්‍රකට වූයේ ආර්. මුත්තුසාමි නැතහොත් මුත්තුසාමි මාස්ටර් යන ආදරබර නමිනි.

සංගීතඥයකු මෙන්ම අතිශය මධුර තනු රචකයකු හා අතිදක්ෂ වයලීන වාදකයකු වූ ඔහුගේ විශිෂ්ට කුසලතාව වැඩි වශයෙන් කැපි පෙනුණේ මෙරට චිත්‍රපට සංගීත ක්ෂේත්‍රය තුළය.

උපතින් හින්දු භක්තිකයකු වූ මුත්තුසාමි මාස්ටර් ගේ මවුබස දෙමළය. එහෙත් පසු කලෙක ඔහු බුදු දහමට හා සිංහල බසට බෙහෙවින් ඇළුම් කළ, ඒවාට ගරු කළ සැබෑ ශ්‍රී ලාංකිකයකු බවට පත් විය. මුත්තුසාමි ගේ පියා ඉසෙක්කිමුත්තු රාමය්යා හෙවත් රාමය්යා භගවතාර් ඉන්දියාවේ සංගීත පරම්පරාවකින් පැවත ආ ගායනයෙහි හා වයලීන වාදනයෙහි දක්ෂකයකු වීය.

මහරාජාවරුන් හා ප්‍රභූවරුන් ඉදිරියේ ගායන, වාදන ඉදිරිපත් කරමින් තෑගි බෝග ලැබූ රාමය්යාට අවශ්‍ය වූයේ සිය දරු තිදෙනාගෙන් මද්දුමයා වූ මුත්තුසාමි කෙදින හෝ දක්ෂ සංගීත ශිල්පියකු බවට පත් කිරීමටය. ඔහු සිය දරුවාට වයලීන වාදනය උගන්වන්නට වූයේ ඒ අරමුණ ඔස්සේ යමිනි. වයස අවුරුදු දහය ඉක්මවන්නටත් ප්‍රථම දරුවා වයලීන වාදනයෙහි බුහුටිකම් පෑවේය.

ඒ. සි.රාමචන්ද්‍රන් නමැති මහා සංගීතවේදියා වෙතින් මුත්තුසාමිගේ කුසලතාවන් වඩාත් ඔප් නැංවිණ. රාමචන්ද්‍රන්ගේ වාද්‍ය වෘන්දයේ වයලීන වාදකයකු සේ ඉඳහිට කටයුතු කරන්නට මේ මහා සංගීතවේදියා මුත්තුසාමිට ඉඩ සලසා දුන්නේ ඊට අවැසි ගුරු හරුකම්ද සමඟය.

ශ්‍රී ලාංකික දෙමළ ව්‍යාපාරිකයකු හා චිත්‍රපට නිෂ්පාදකයකු වූ එස්.එම් නායගම් 1950 දී මෙරට ප්‍රථම චිත්‍රාගාරය සුන්දර සවුන්ඩ් නමින් කඳානේ ඉදිකරන ලදි. නායගම් විසින් මුත්තුසාමි මාස්ටර් ලංකාවට ගෙන්වා ගත්තේ එහි සංගීත අංශය බාරදීම සඳහාය.

චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් මුත්තුසාමිගේ භුමිකාව ඇරැඹෙන්නේ 1953 වසරේ තිරගත වූ “පේ‍්‍රම තරගය” චිත්‍රපටය සමගිනි. පෙර කළ පව පළදී, හෝ හඬ දී බැස යන ගංගා, උගත්තු, වියත්තු, හොඳ හොඳම වේය ලොව, අලි වැඩේනෙ වෙන්න ගියේ වැනි අතිශය මියුරු, අදටත් ජනපි‍්‍රය එම ගීත ඇතුළත් වූයේ “පේ‍්‍රම තරගය” චිත්‍රපටයටයි. එයින් පසු එක දිගටම මුත්තුසාමි මාස්ටර්ට වැඩ ගලාගෙන ආවේය.

ඔහුගේ ඇතැම් ගීත ස්වතන්ත්‍ර නිර්මාණ වූ අතර අනුකාරකවාදී ගීත ද ඒ අතර විය. 60 - 70 දක්වා ද්වි දසකය මුත්තුසාමි මාස්ටර්ගේ චිත්‍රපට සංගීත කලාවේ දීප්තිමත්ව යුගය සේ හැඳීන්විය හැක.

දශක තුනකට අධික කාලයක් පුරා දේශීය සිනමා සංගීතය, ජනපි‍්‍රය කලාංගයක් බට පත් කිරීම උදෙසා ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ මේ මහා ගාන්ධර්වයා සිය සෞන්දර්ය චාරිකාවෙන් මෙන්ම රසිකයන්ගෙන් ද සමුගෙන නික්ම ගියේ මෙයින් විසි එක් වසරකට පෙරාතුව එනම් 1988 ජුනි 27 වැනිදාය. නමුදු අපි අද ද ඔහු අතින් බිහි වුණ මධුර තනුවක මිහිරෙන් මත් වෙමු.

ඒවා රස විඳීන්නෙමු. සැබෑ කලාකරුවා මිය ගිය ද ඔහුගේ නිර්මාණ කිසිදා මිය යන්නේ නැත. මුත්තුසාමි මාස්ටර් අපට පසක් කර දුන්නේ ද එකී සත්‍යයයි. මී බිඳු මෙන් රසවත් අපූර්වතම ගී දහස් ගණනක් අපට ඉතිරි කොට තැබුව ද ඔහු ඔහුට කියා ඉතිරි කර ගත් කිසිවක් නැත.

බොහෝ සංවේදී මිනිසුන්ගේ ජීවිත උරුමයක් බඳු සෝ තැවුල්, කලකිරිම්, දුක් සංතාපයන්ගෙන් මුත්තුසාමි ගේ ජීවිතයටද අඩුවක් නොවීය. එහෙත් ඒ සියල්ල විඳ දරා ගනිමින් දිවිමගේ ඉදිරියට පිය නඟන්නට තම ජීවන සහකාරිය වෙතින් ඔහුට ලැබුණේ මහත් ශක්තියකි.

ඈ සිංහල, බෞද්ධ කුල කාන්තාවක වූ නීලියා බමුණු ආරච්චිය. මුත්තුසාමි - නීලියා විවාහ සිදුවූයේ 1961 නොවැම්බර් 08 වැනිදාය. එම විවාහයෙන් ඔවුනට පුතෙකු හා දියණියන් තිදෙනෙකු ලැබිණ.

වැඩිමහල් පිරිමි දරුවා වූ මොහාන් රාජ් අද දක්ෂ කීබෝඩ් වාද්‍ය ශිල්පියකු, ගායකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ජනපි‍්‍රයත්වයට පත්ව සිටී. චිත්‍රාංගි, ප්‍රසන්නි සහ කීර්තිකා යන දියණියන් තිදෙනාම ගායනයෙහි දක්ෂ වුවද ඔවුන් වෘත්තීය මට්ටමෙන් සංගීත ක්ෂේත්‍රයට එක් වූයේ නැත.

මොහාන් රාජ්

සැබෑ කලාකරුවා එක් ජාතියකට, ආගමකට හෝ කුලයකට පමණක් අයිති වන්නකු නොවන බව ඔප්පු කළ ආර්. මුත්තුසාමි තම ගී නිර්මාණ මගින් මුළු මහත් ලක් වැසියන්හටම රස, මිහිර බෙදා හදා දුනි.

මේ 29 වැනිදා සවස 6.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ආර්. මුත්තුසාමි කලාකරුවාට උපහාර පිණිස “මධුර යාමේ” නමින් ගී ප්‍රසංගයක් පැවැත්වීමට මේ දිනවල සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ.

ප්‍රවීණ, ජනපි‍්‍රය ගායන ශිල්පීන්, ශිල්පිිනියන් පහළොස් දෙනෙකු විසින් මුත්තුසාමි මාස්ටර් තනු නිර්මාණය කළ ගීත විසි ඛ්තරක් එදින ගායනා කිරීමට නියමිතය.

මුත්තුසාමි මාස්ටර්ගේ දයාබර බිරිඳ නීලියා බමුණුආරච්චි මහත්මිය මේ ප්‍රසංගය හා ඔහුගේ සංගීත දිවියේ යම් යම් සුවිශේෂ දෑ පිළිබඳ කතාබහ කරන්නට “සරසවිය” සමගින් එක් වූයේ මෙලෙසිනි.

මුලින්ම කියන්න ඕනෑ මේ ප්‍රසංගය ගැන. මහත්මයා අපෙන් වෙන් වෙලා පසුගිය ජුනි 27 වෙනිදාට අවුරුදු විසි එකක් පිරුණා. ඒකත් නිමිති කරගෙන තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. මහත්මයා සංගීත නිර්මාණය කළ ජනපි‍්‍රයම ගීත කිහිපයක් ජනපි‍්‍රය ගායක, ගායිකාවන් පහළොස් දෙනෙක් එදාට ගායනා කරනවා. “මධුර යාමේ” ප්‍රසංගයේ වාදක මණ්ඩලය මෙහෙයවන්නේ පුතා මොහාන් රාජ්.

කවුද මේ ප්‍රසංගය සඳහා මුල පිරුවේ....?

මහත්තයාගේ විසි එක්වන සංවත්සරයට එතුමා සිහි කරලා උපහාර ප්‍රසංගයක් කරන්න වුවමනාවක් අපට තිබුණා. ඒත් අපට තනියෙන් එවැනි දෙයක් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් වන ජයන්ත ධර්මදාස මහත්තයාට මේ බව කිව්වා. ජුලි 20 අපි එහේ ගියේ. කලාකරුවෝ කීප දෙනෙක්ම එදා එක් රැස් වෙලා හිටියා.

ආයෙත් අපිව ජුනි 27 වැනිදා නවලෝක රෝහලට එන්න කියලා ජයන්ත ධර්මදාස මහත්මයා කිව්වා. එදා පුංචි උත්සවයක් තියල අපිව පිළිඅරගෙන මූල්‍යමය ආධාරයකුත් අපට කළා. රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, ටී. එම්. සංඝදාස, රොබින් ප්‍රනාන්දු, සනත් ගුණතිලක, සුනිල් ටී. ප්‍රනාන්දු, නීටා ප්‍රනාන්දු, මහින්ද රාමනායක වැනි කලාකරුවන් පිරිසකුත් එතන හිටියා. වෙලාවේ හැටියට ඒ කළ උදව්ව ගොඩක් වටිනවා.

එදා තමයි මේ ප්‍රසංගය පවත්වන්න මුල් අඩිතාලම වැටුණේ. මේ වේලාවේ විශේෂයෙන්ම ජයන්ත ධර්මදාස මහතාව අපි ආදරයෙන් සිහිපත් කරනවා.

මුත්තුසාමි මාස්ටර් නැතිවෙලා දැන් අවුරුදු විසි එකක්. ඔහු නැති අඩුව ඔබට අදටත් දැනෙනවා ඇති....

ඇත්තටම මහත්තයා නැති අඩුව මම හිතන්නේ කවදාවත් පිරිමැහෙන එකක් නැහැ. ඒක අපේ පවුලට විතරක් නෙවේ, මුළු රටටම පාඩුවක්. අද අපි ඉන්නේ ගොඩක් අසරණ වෙලා. මට ඉන්න හිටින්න තැනක්වත් නැහැ. චූටි දුවත් එක්ක ඉන්නේ. අනෙක් දරුවෝ මා ගැන නොබලනවා නෙවෙයි. ඒත් ඒ අයටත් ගොඩක් ප්‍රශ්නනේ. මොහාන් පුතා ළඟ තමයි මම මුලින් හිටියේ. එයාටත් දැන් ප්‍රසංග ලැබෙනවා අඩුයිනේ.

ඇගේ දෑස් කඳුළෙන් තෙත් වේ. ඒ කඳුළු බිඳු සඟවා ගන්න ඈ දරනා ආයාසය මට පෙනේ. සිය සැමියා ගේ අකල් වියෝවෙන් පසුව, දරුවන් සිවු දෙනාගේ යුතුකම් ඉටු කරමින්, ඔවුන් ලොකු මහත් කරන්නට දිවිය කැප කළ මේ දිරිය මවට ඒ කඳුළු, සරදමකි. ඒ ඇය කඳුළට තම ආත්මය බාර දුන් ගැහැනියක නොවන නිසාවෙනි.

ඇත්තටම පුතේ මට විශ්‍රාම වැටුපක්වත් ලැබෙන්නේ නැහැ. නිතරම ඉන්නේ ලෙඩ ගානේ. ඒත් කාටවත් මම අපේ දුක කියන්න, අතපාන්න ගියේ නැහැ. ඒක මගේ මහත්තයාට කරන අවමානයක් කියලයි මම හිතුවේ. අගමැති සර් ජෝන් කොතලාවල මගේ මහත්තයා මේ රටට පිළිගත්තේ පුරවැසිභාවයත් ලබා දීලා. එතුමා “පේ‍්‍රම තරගය” නරඹා එහි සංගීතය ගැන පැහැදිලා තමයි මුත්තුසාමි මාස්ටර්ට පුරවැසිකම ලබා දුන්නේ.

‘පේ‍්‍රම තරගය’ නිසා මුත්තුසාමි මාස්ටර් ට විශේෂ සම්මානයකුත් පිරිනැමුණා නේද...’?

ඔව්. ‘පේ‍්‍රම තරගය’ සංගීතය වෙනුවෙන් ඔහුට ඉන්දියානු පුවත්පත් කලාවේදීන් සංගමය India Journalist’s Association මගින් ඉතා විශිෂ්ට සම්මානයක් පිරිනැමුවා. ඒතත All India Cultural Carnival කියන උළෙලේදී තමයි මේ සම්මානය ඔහුට ලැබුණේ. සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් ලැබුණ ප්‍රථම විදෙස් සම්මානය තමයි ඒ.

කොහොමද ඔබට මුත්තුසාමි මාස්ටර් මුණ ගැසුණේ?

මගේ මවුපියන් කලාවට, විශේෂයෙන්ම සංගීතයට ලොකු ඇල්මක් දක්වපු අය. අපි පදිංචි වෙලා හිටියේ කොහුවල. මම පාසල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. හීන්බබා ධර්මසිරි ගුරුතුමාගෙන් මම නැටුම් ඉගෙන ගත්තා. මගේ අයියා තමයි ඒ කාලේ ජනපි‍්‍රය ගායකයකු වූ හෙන්රි පෙරේරා.

මට මුත්තුසාමි මාස්ටර් මුලින් හමු වුණේ “කුරුලු බැද්ද” චිත්‍රපටයේ ගීත පටිගත කිරීමක් බලන්න ගිය වෙලාවේ. අයියාට එහි කවි කිහිපයක් ගායනා කරන්න තිබුණා. අයියත්, තාත්තත් එක්කයි එදා මම ඒ පටිගත කිරිම බලන්න ගියේ. ඒත් අන්තිමට මට සිංදු කියන්නත් වුණා.

කොහොමද ඒක වුණේ....?

ඒ කාලේ සංගීතය සහ ගීතය පටිගත කළේ එකටමයි. වාදනය, වැරදුණත්, ගයනය වැරදුණත් ගීතය මුල ඉඳලාම පටිගත කරන්න වෙනවා. “කුරුලු කොබෙයි පරෙවි වනේ” කියා ලතා වල්පොල ගයන ගීතයක් තිබුණා. ඒකේ කෝරස් ගායනා කළේ චන්ද්‍රා ද සිල්වා, ඇන්ජලින් ගුණතිලක, මල්ලිකා කහවිට සහ මම. ගීතයේ පේළි දෙකක් ගායනා කරන්න කෙනෙක් නැති නිසයි මාව තෝරා ගත්තේ.

“හමන සිසිල් සුළඟ නටයි

එකට හැපිලා

ගුවන් තලේ, නඳුන් වනේ

බිමට වැටීලා..... “ කියන කොටසයි මම ගායනා කළේ. එදා මට මුත්තුසාමි මාස්ටර් ගැන ඇති වුණේ ලොකු ගෞරවණීය හැඟීමක්. ඔහු නිතර අපේ අයියා හමුවෙන්න ගෙදර ආවා ගියා. “මං පොඩි කාලේ දැක්කට පස්සේ” ගීතය අය්යා ගැයූ ගීතවලින් ඉතාම ජනපි‍්‍රය වුණා. ඒක නිර්මාණය කළේ මාස්ටර්. ටිකෙන් ටික අප අතරේ සම්බන්ධයක් ගොඩ නැගුණා. ඒක කෙළවර වුණේ විවාහයෙන්.

මුත්තුසාමි මාස්ටර් වඩාත් ජනපි‍්‍රය වුණේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු විදිහට. ඔහු චිත්‍රපට කීයක සංගීතය සැපයුවාද?

මම හිතන්නේ චිත්‍රපට දෙසිය විසිපහක විතර. ඒ අතරින් ගොඩක් ගීත ජනපි‍්‍රය වුණා. සංදේශය චිත්‍රපටයට සුනිල් සාන්ත තනු නිර්මාණය කළ ගීත සියල්ලම සංගීතවත් කළේ මහත්තයා. එතකොට මාතලන්, අහංකාර ස්ත්‍රී, කුරුලු බැද්ද, සිකුරු තරුව, අල්ලපු ගෙදර, සත පනහ, සිතක මහිම , වහල් දූපත, චන්ඩියා, යටගිය දවස, වගේ චිත්‍රපටවලට ඔහු නිර්මාණය කළ ගීත අදටත් රසිකයන්ට මතකයි.

ලතා වල්පොල, මොහිදීන් බෙග්, එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක ජේ. ඒ. මිල්ටන් පෙරේරා වගේ ගායක, ගායිකාවෝ තමයි ඔහු වැඩිපුරම ඒ ගීත ගැයීම සඳහා යොදා ගත්තේ. ඒ වගේම මුත්තුසාමි මාස්ටර් ගේ ගීතවලට වැඩිපුරම පද රචනා කළේ කරුණාරත්න අබේසේකරයන්.

1960 වසරේ තිරගත වූ “නළඟන” චිත්‍රපටයට “ගිලුනා සෝක ගෙඟ් “ ගීය ගයමින් මුත්තුසාමි ද පසුබිම් ගායනයට එක් විය. ඉන්පසු ඔහු “මධුර යාමේ” ( සිතක මහිම ) “මගෙ දෑසම පියවී එන්නේ” (සසරක හැටි ) “ළිඳ තුළ මැදි වුණ මැඩියා” ( අල්ලපු ගෙදර) වැනි අතිශය ජනපි‍්‍රය ගීත කිහිපයකටම තම මියුරු හඬ එක් කළේ ඔහුගේ කැමැත්තට වඩා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ ඇවටිල්ල නිසාවෙනි.

ටෛම්ස් ආයතනය මගින් 1974 දී සංවිධානය කරන ලද “දීපශිඛා” සම්මාන උළෙලේදී වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් සංගීතවත් කිරීම වෙනුවෙන් ඔහුට “දීපශිඛා” සම්මාන පිරිනැමීය. දේශීය සිනමා සංගීතයට ඉටු කළ මෙහෙය වෙනුවෙන් 1985 දී මුත්තුසාමි වෙත ජාතික කතෝලික සිනමා පර්ෂදයේ O. C. I. C සම්මානය ද පිරිනැමිණ.

මුත්තුසාමි මාස්ටර් ඉතාමත් ප්‍රතිපත්ති ගරුක, යහපත් මිනිසකු බව මා අසා තිබෙනවා. ?

බිරිඳ නීලියා සහ චිත්‍රාංගි, ප්‍රසන්නි, කීර්තිකා දියණියන් තිදෙනා.

ඒක ඇත්ත. ඔහු සංගීතය වෙනුවෙන් මුළු ජිවිතයම කැප කළ කෙනෙක්. ඒත් ඔහු ජීවත් වුණේ ගොඩක් සිත් රිදීම්, කලකිරිම් මැද්දේ. බොහෝ චිත්‍රපටවලින් ඔහුට මුදල් ලැබුණේ නැහැ. සමහර ඒවට ලැබුණේ පොරොන්දු වුණ මුදලට අඩුවෙන්. ඒ වගේම මහත්තයාට ගොඩක් කැපිලි, කෙටිලිත් තිබුණා. සමහරු ඔහුට මතුවෙන්න ඉඩ දුන්නේ නැහැ.

මට මතකයි එක්තරා චිත්‍රපටයක් ගීත පටිගත කිරීම් අවසානයේ නිෂ්පාදකවරයා ඔහුට මුදල් ගෙවුවේ නැහැ. එදා මහත්තයා කරේ තිබුණ පවුම් පහ, හයක මාලය විකුණලා තමයි එයාගේ වාදක මණ්ඩලයට මුදල් ගෙව්වේ. ඒ කාලේ වාදකයකුට දුන්නේ රුපියල් තිස් පහයි. මහත්තයා සටන් කරලා තමයි ඒ මුදල රුපියල් පනහ දක්වා වැඩි කර ගත්තේ.

කෝවිලට වඩා මුත්තුසාමී මාස්ටර් ඇළුම් කළේ පන්සලටය. පන්සල හා ඔහුගේ තිබුණේ කිට්ටු සබැඳීයාවකි. ඒ පිළිබඳ නීලියා මහත්මිය දක්වන අදහස් මෙබඳුය.

අපේ දරුවෝ හතර දෙනාගෙම නම් දැම්මේ කොළොන්නාවේ සෝමාලංකාර නායක හාමුදුරුවෝ. ඒ විතරක් නෙවේ, දුවලා තුන් දෙනාම ඉගෙන ගත්තේ බෞද්ධ කාන්තා විදුහලෙන්.

එයා දරුවන්ට හරිම ආදරෙයි. රෑ වෙලා ගෙදර එද්දි දරුවෝ නිදාගෙන හිටියොත් එයලා අවධි කරවලා ඒ හැමෝටම බත් කට, කට කවනවා. හරිම ආදරෙන් දරුවන්ට කතා කරන්නේ. හැබැයි එයාලා සංගීතය පැත්තට යොමු වෙනවාට මහත්තයාගේ සිතේ කැමැත්තක් තිබුණේ නැහැ. මොහාන්ව සංගීතය පැත්තට යොමු කරන්න මුල් වුණෙත් මම. ඒක කළේ මහත්මයාට හොරෙන්. ඒත් පස්සේ ඔහු පුතාගේ දක්ෂතාවයන් දැකලා ඒ ගැන සතුටු වුණා

මුත්තුසාමි වැනි විශිෂ්ට ගනයේ කලාකරුවන් රටකට පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. මහා සංගීත සම්ප්‍රදායක් ඇති ඉන්දියාව වැනි රටක, සංගීත පරම්පරාවක ඉපදුණ ද ඔහු තම හැකියාවන් කල එළි දක්වන්නට තෝරා ගත්තේ අපේ මේ පුංචි දිවයිනයි.

එහෙත් මුත්තුසාමි මාස්ටර් අපේ රටේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ මහා මෙහෙවරට අපෙන් පෙරළා ඔහුට යුතුකම් ඉටු වූවා යැයි කිසිවෙකුට උදම් ඇනිය නොහැක. අතපසු වූ ඒ යුතුකම් පමා වී හෝ ඉටු කිරීමට කාලය දැන් එළඹ තිබේ.

http://www.sarasaviya.lk/2009/10/08/_art.asp?fn=sa09100816&pn=*10,19

No comments:

Post a Comment