මුල් කෘතියේ සුවඳ දැනෙන්න ඕනෑ |
බොබී ජී. බොතේජු
පරිවර්තන ක්‍රියාවලිය ඔබ හඳුන්වන්නේ කිනම් අයුරකින්ද?
පරිවර්තනයක් යනු එක් භාෂාවකින් තවත් භාෂාවකට යම් කෘතියක් පරිවර්තනය කරන සංකීර්ණ ක්‍රියාවලියක්. නිර්මාණාත්මක සාහිත්‍ය කෘතියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම වඩා වෙනස්.
එහිදී පරිවර්තකයා භාෂා දෙක පමණක් හොඳින් දැන සිටීමට ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා මුල් කෘතියේ භාෂාවත් යෙදුම් රටා පිළිබඳව අවබෝධයත් මෙන් ම මුල් කෘතියේ ඇති සමාජය පිළිබඳ යම් ප්‍රමාණයක දැනීමකුත් අවශ්‍ය වෙනවා.
තමා පරිවර්තනය කරන භාෂාව පිළිබඳවත් හොඳ දැනීමක් තිබිය යුතුයි. ඒ භාෂාවේ උඩින් හඟවන අර්ථයට වඩා යටින් හඟවන අර්ථය ද වටහා ගත යුතුයි. උදාහරණයක් වශයෙන් “මං උඹට හොඳ පාඩමක් උගන්වනවා” යන්න කිවහොත් එහි යටි අරුත වන්නේ උඩින් පැවසෙන අරුතට වඩා වෙන එකක්. එවැනි යෙදුම් වටහා නොගෙන කරන පරිවර්තන සාර්ථක වන්නේ නැහැ. ශබ්දකෝෂය බලාගෙන වචනයෙන් වචනය කරන පරිවර්තනය අසාර්ථකයි.
මුලින් ම පරිවර්තකයා මුල් කෘතිය කියවා රසවිඳ ආස්වාදයක් ලබා ගැනීම වඩා වැදගත්. ඊළඟට ඔහු කළ යුත්තේ තමා ලද ඒ ආස්වාදය දෙවෙනි භාෂාවෙන් එය කියවන පාඨකයාට ලබාදීමයි. මුල් කෘතිය කියවා තමා ලද ආස්වාදය පාඨකයාටත් දැනෙනවා නම් ඒ කෘතිය සාර්ථකයි. එය නීරස වුවහොත් අසාර්ථක වෙනවා.
විශේෂයෙන් ම ඉංග්‍රීසියෙන් දිග වැකි සහිත පාඨ සිංහලෙන් ලියද්දී පරිස්සම් විය යුතුයි. මෑතකදී ලියැවුණු සමහර පශ්චාත් නූතනවාදී කෘති කීපයක් මා කියැවූවා. ඒවායේ ඉංග්‍රීසි කෘතිය ආසාවෙන් කියැවිය හැකි වුවත් සිංහල කෘතිය නීරසයි. හරියට අණ්ඩර දෙමළ වගේ මෙයින් මුල් කෘතියට වන්නේ විශාල හානියක්. මුල් භාෂාවේ නියම අදහස සිංහලයට පරිවර්තනය කළ නොහැකි නම් එවැනි පරිවර්තකයින් අසාර්ථකයි.
ඔබ හිතන හැටියට ග්‍රන්ථ පරිවර්තකයෙකුගේ වගකීම් හා යුතුකම් මොනවාද?
මලක් වීදුරු භාජනයක දමා තිබුණොත් අපට එය ස්පර්ශකර සුවඳ විඳින්නට හෝ මෙලෙක බලන්නට බැහැ. පරිවර්තනයක් කරන අයෙකුගේ යුතුකම වන්නේ මුල් කෘතියේ සුවඳ ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමයි.
ඒ වගේ ම පරිවර්තනය සඳහා හොඳ කෘතීන් තෝරා ගැනීමත් පරිවර්තකයෙකුගේ යුතුකමත් මෙන් ම වගකීමක්. සමහරු ‘ටිං ටිං’ ඒ වගේ ම ‘හැරී පොටර්’ වැනි කතා පවා සිංහලට පරිවර්තනය කරනවා. ඒවා සුලබ ළමා කතා. ළමයින් සඳහා ඉතා ලිහිල් බසින් ලියූ ඒ කෘතීන් ඉංග්‍රීසි බසින් ම ළමයින්ට කියවන්නට දීම යහපත්.
ඒ නිසා පරිවර්තනය සඳහා හොඳ සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන් මෙන් ම සමාජයට රටට සදාචාරයට උචිත කෘති තෝරාගත යුතුයි. ඒවා අපේ රටේ සදාචාරයට ගැළපීම ගැන සිතා බැලිය යුතුයි. ඇමෙරිකාවේ පවා මෙන් ම බොහෝ රටවල සම්භාව්‍ය කෘතීන්වල සාරධර්ම ගැබ් වී තිබෙනවා. බොහෝ දෙනා දැන් පරිවර්තන සඳහා කෘතීන් තෝරා ගත්තේ ඒවායේ ජනප්‍රිය බව හා වෙළෙඳපොළ අගය ගැන සිතා බලා පමණයි.
පාඨකයාගේ රසාස්වාදනය දියුණු කරන හොඳ කෘති තෝරා ගැනීම හොඳ පරිවර්තකයෙකුගේ යුතුකමක්. එසේ නැතිව බාල ගණයේ පොත් පරිවර්තනය කිරීම ඔහුගේ ශ්‍රමය අපතේ යැවීමක් කියා මා සිතනවා.
පාඨක රුචිය හා බුද්ධිය වර්ධනය කිරීමට පරිවර්තකයෙකුගෙන් ලැබෙන දායකත්වය කුමක්ද?
පරිවර්තකයෙකුට හොඳ කලාත්මක මෙන් ම ආවේණික බස් වහරකින් තම පරිවර්තනය කළ හැකි නම් පාඨක රුචිය වර්ධනය කළ හැකියි. බලන්න සිරිල් සී පෙරේරා ශූරීන්ගේ පරිවර්තන. ඔහු මුල් කෘතියේ අන්තර්ගතය ඉතා සුමට බස් වහරකින් සිංහලයට ලියනවා. ඒවා කියවන්නට ආසයි. ඔහු විතරක් නොවෙයි තවත් එවැනි පරිවර්තකයන් කීප දෙනෙකුම ඉන්නවා. කෘතියක් අමු අමුවේ වචනයෙන් වචනය පරිවර්තනය කරනවා නම් එය නීරසයි.
කඨොර බසකින් තොරව කලාත්මක අයුරින් සිංහලයට ගැළපෙන අයුරින් ලියනවා නම් ඒ පරිවර්තකයා ගෙන් පාඨක රුචිය වර්ධනය වන කෘතීන් බිහිවෙනවා. මට මතකයි මට ප්‍රකාශකයෙකු ගෙන් සමීක්ෂණයට ආ කෘතියක තිබුණු වැකියක් “ඔහු උළුවස්සෙන් පැන ගෙට ඇතුළු වූ’ බවත් එහි ලියා තිබුණා. එය එළිපත්ත පැන ඇතුළු වූ ලෙස ලිවිය යුතුයි. ඒ ලේඛකයාට සාමාන්‍ය බුද්ධියවත් නොතිබුණා සේ මට හිතෙනවා.
භාෂා පරිවර්තනයේ ආරම්භය ගැනත් එහි අවශ්‍යතාවය ගැනත් ඔබ දකින්නේ කෙසේ ද?
භාෂා පරිවර්තනයත් සංස්කෘතිය තරමට ම පැරණිය. සංස්කෘතීන් දෙකක් අතර සන්නිවේදනයක් ඇතිවීමට භාෂාමය ඥානය හා පරිවර්තනය අවශ්‍යයි. සංස්කෘතීන් ගේ වර්ධනයත් සමඟම භාෂා පරිවර්තනයේ අවශ්‍යතාව මිනිසාට දැනුණා. මිනිසුන්ට මෙන් ම සංස්කෘතීන්ට ද හුදකලා වීමට අපහසුයි.
එක් සාහිත්‍යයක සංස්කෘතික භාණ්ඩාගාරය භාෂා පරිවර්තනය තුළින් තවත් ජාතියක වර්ධනය උදෙසා උපයෝගී කරගත හැකියි. එමගින් සමාජමය ප්‍රගමනයට සිදුවන බලපෑම වර්ධනය වෙයි. පරිවර්තකයන්ගේ වෑයම හා දක්ෂතාවය තුළින් බොහෝ පොතපත එක් භාෂාවක සිට තවත් භාෂාවකට පරිවර්තනය කෙරෙනවා. අනතුරුව එය තව තවත් භාෂාවන්ට පරිවර්තනය වීමෙන් ලෝකයේ බොහෝ දෙනෙකුට අන්‍යොන්‍ය අවබෝධය ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා.
පාවෙල් ටොපර් (Pavel Toper) නම් විචාරකයා ඒ ගැන මෙසේ පවසනවා.
“නිර්මාණ කෘතියක් පරිවර්තනය කිරීම ද ඉහළ මට්ටමේ නිර්මාණ කාර්යයක්. ඒ පරිවර්තනය නම් වූ නිර්මාණ කාර්යය කරන තැනැත්තා ද නිර්මාණ ලේඛකයෙකි. නිර්මාණය කරන ලේඛකයාත් එය තවත් බසකට පෙරළන පරිවර්තකයාත් එක හා සමානයි. පාඨකයා වෙනුවෙන් මුල් කෘතියේ සංස්කෘතිය හැඩ ගැස්වීමට පරිවර්තකයා වැදගත් මෙහෙයක් ඉටු කරයි. එහෙත් මුල් කෘතිය ලියන ලේඛකයාට ලැබෙන කීර්තිය හෝ සැලකීම පරිවර්තකයාට නොලැබෙයි.”
එය ඇත්තක්. සම්භාව්‍ය කෘතියෙන් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේදී මුල් ලේඛකයාට ලැබෙන සැලකීම හා කීර්තිය පරිවර්තකයාට ලැබෙන්නේ නැහැ. එහෙත් විය යුත්තේ පරිවර්තකයාටත් මුල් ලේඛකයාට මෙන් සැලකීමක් දැක්වීමයි. හේතුව පරිවර්තකයා ඒ කෘතිය වෙනත් භාෂාවකින් පළ කිරීමේ වාහකයා වන නිසා. ලෝක සාහිත්‍යය රටරටවල පතළ වී පුළුල් වන්නෙත් පරිවර්තකයා නිසයි.
පරිවර්තන කාර්යය නිසා ලෝක සාහිත්‍යය පෝෂණය වෙනවා විතරක් නොවෙයි දැනුම ද දියුණුවෙනවා. තවත් විචාරකයෙකු 1851 දී කී පරිදි පරිවර්තකයා අන් අයගේ කෘති පරිවර්තනය කරමින් තමන්ගේ කුසලතාවය නාස්ති කරගත්තෙක්. වෙනත් වචනවලින් ඔහු පරිවර්තකයා හඳුන්වා දෙන්නේ ලේ දන් දෙන්නෙකු හැටියටයි. ඔහු පරිවර්තනය තුළින් මුල් කර්තෘට ලේ දන්දෙයි.
පුෂ්කින්ගේ කවි පරිවර්තනය කළ නොහැකි යැයි බොහෝ දෙනා එකල මත පළ කළා. එහෙත් ‘මරියා පෙට්යෙට්වා’ පවසන්නේ මෙසේ ය. “පුෂ්කින්ගේ කවි නිර්මාණ පරිවර්තනය කළ නොහැක්කේ ඇයි. ඒ කවි ලියා ඇත්තේ විශ්ව භාෂාවෙනි. එම නිසා ඒවා පරිවර්තනය කිරීමට හැකි විය යුතු ය.”
දක්ෂ පරිවර්තකයකුට ඕනෑම කෘතියක් තවත් භාෂාවට පරිවර්තනය කළ හැකියි. ඒ නිසා මා මුලින් කීවාක් මෙන් භාෂා දෙකේ ම මෙන් ම සංස්කෘතින් දෙකේ ම ස්පර්ශය ඔහුට හොඳින් තිබිය යුතුයි. මගේ මතයේ හැටියට පරිවර්තකයින් බාල මට්ටමේ කෘති පරිවර්තනයෙන් වැළකිය යුතු ය.
http://www.silumina.lk/punkalasa/20090920/_art.asp?fn=ar09092019
No comments:
Post a Comment