Sunday, 11 October 2009

මිනිසාගේ හෘදය සාක්ෂිය සෝවියට් සාහිත්‍යය

මිනිසාගේ හෘදය සාක්ෂිය සෝවියට් සාහිත්‍යය


සුප්‍රකට කිර්ගිස් ජාතික චින්ගිස් අයිත්මාතෝවිගේ ‘The Early Cranes’ නමැති කෘතියේ සිංහල අනුවාදනය වන ‘වේලාසන කොක්කු ඇවිත්’ (ඩබ්ලියු.ඒ.අබේසිංහ) කෘතියෙන් උපුටා ගැණිනි.

මිනිස් වර්ගයාගේ සාමූහික ප්‍රඥාව, උතුම් ගුණ සම්පත්තිය, අපූර්ව ප්‍රතිභා මහිමය, අකුරකට ඇලපිල්ලකට ස්වරයකට රටාවකට රිද්මයකට හෝ වදනකට නැඟීම තරම් අරුමයක් ලොවෙහි තිබිය හැක්කේද? නනරුත් රටා මවමින් එසේ නිම වනුයේ, මිනිස් වර්ගයා විසින් අනන්ත කාලයක් මුළුල්ලේ සාමූහිකව එක් රැස් කරන ලද අධ්‍යාත්ම ධනයයි. මේ අමිල වූ අසම සම වූ අරුම පුදුම ආශ්චර්යයට අපි සාහිත්‍යය යැයි කියමු.

සාහිත්‍යය යනු සහිත බව ය. හෙවත් පිරුණු බව ය. පිරෙන්නේ කුමකින්ද? පිරෙන්නේ මිනිස් වගෙහි නැණ ගුණෙනි. ගුණ නැණෙනි. හෙවත් මිනිස්බවෙනි. මිනිස්කම පිරුණු, මිනිසුන්ට අයිති ඒ උතුම් ධනය සාහිත්‍යය නම් වෙයි.

වත්මනෙහි ඒ උතුම් සාහිත්‍යයෙහි පැතිකඩක් ඔබ දකිනු රිසිද? එසේ නම් ඔබ කළ යුත්තේ, දැනට වයස අවුරුදු හැත්තෑතුනක් වන සෝවියට් සාහිත්‍යය දෙස බැලීම ය. සම්භාව්‍ය රුසියානු සාහිත්‍ය සම්ප්‍රදාය තුළ ජනිත ව දිගු පුළුලින් හා ගැඹුරින් මහා නදී ප්‍රවාහයක් සේ අනාගතය වෙත ගලා එන සෝවියට් සාහිත්‍යය නමැති ආශ්චර්යය, දැන් ලොව හමුවෙහි ප්‍රාදුර්භූතව පවතියි. විප්ලවපූර්ව රුසියාව විසින් යම් සේ පුෂ්කින්, ගොගොල්, දස්තයෙව්ස්කි, තොල්ස්තෝයි, චෙකෝව්, කුප්රින්, තුර්ග්නිප්, බුනින්, ගොන්චාරොව්, ලමන්තෝව්, ගෝර්කි වැනි ලේඛකයින් බිහි කරන ලද ද, අපරවිප්ලවීය සෝවියට් දේශය විසින් ෂොලහෝව්, පැඩින්, පවුස්තොව්ස්කි, ලියනිඩ් ලියනෝව්, ඔස්ත්‍රොව්ස්කි, බන්දාරෝව්, අයිත්මාතෝව්, තිකනෝව්, සිමනොව්, ග්‍රැනින්, ගම්සාතෝව්, රස්පුටින්, රිටිකියු, යෙව්ටුෂෙන්කෝ, අඛ්මදුලිනා, මායා ගැනීනා වැනි ලේඛකයින් හා ලේඛිකාවන් බිහිකර ඇත්තේ ය.

එදා ඒ ලේඛකයෝ රුසියානු සමාජය පිළිබඳ ඇත්ත සිය කෘතීන් මඟින් ස්වකීය ජනතාවට කීහ. අද මේ ලේඛකයෝ සෝවියට් සමාජය පිළිබඳ ඇත්ත මුළු මහත් ලොවටම හඬගා කියති.

එතෙකුදු, මේ ඇත්තෙහි වෙනසක් ඇත. එදා කී ඇත්ත හෙවත් ලේඛකයින් දුටු සත්‍යය, සමාජ යථාර්ථයයි. අද කියන ඇත්ත හෙවත් ලේඛකයින් දකින සත්‍යය සමාජවාදී යථාර්ථයයි.

ඒ වූකලී, මිනිස් ඉතිහාසයේ තීරණාත්මක යුග දෙකක්, සාහිත්‍යය නමැති කැඩපතෙහි දර්ශනය වන සැටි ය. එහෙත් පුෂ්කින්ගෙන් ආරම්භ වන නව සාහිත්‍ය සම්ප්‍රදාය විප්ලවය අතරින් ද ඉදිරියට ගලාවිත් එකම රන්හුයෙකින් මෙන්, අද ජීවත් වන නවක සෝවියට් ලේඛකයා ද එක් කරයි. රුසියානු සාහිත්‍යය සෝවියට් සාහිත්‍යයක් බවට පැමිණ, යුග දෙක අතරින් ඉදිරියට ගලා යන්නේ එපරිද්දෙනි.

ගැමි ජනකායක් වූ රුසියානු ජනකායගේ සාමූහික ධී ශක්තිය, බෝල්ෂේවික් විප්ලවය විසින් මහා නිර්මාණ ප්‍රවාහයක් බවට පත් කරන ලද්දේ ය. රුසියානු සාහිත්‍යයක්ව තිබුණු ඔවුන්ගේ සාහිත්‍යය විප්ලවය විසින් මහා පරිමාණයේ සෝවියට් සාහිත්‍යයක් බවට පත් කරන ලද්දේ ය.

විප්ලවයෙන් බිහිව අවුරුදු හැත්තෑතුනක් තුළ අතු ඉතිලා වැඩුණු සෝවියට් සාහිත්‍යයේ විතර කියන්නට තබා හඳුන්වන්නටවත් මෙවැනි කෙටි නිබන්ධයකින් බැරි ය. එබැවින් මෙහිලා මවිසින් කළ හැක්කේ සෝවියට් සාහිත්‍යය නමැති මේ මහා ආශ්චර්ය පිළිබඳ ඉඟිකිරීම් කිහිපයක් කිරීම පමණි.

සාහිත්‍යය, කලාව ඇතුළු ජනතාවගේ සංස්කෘතිය විෂයයෙහි ද ජනතාවගේ සියලුම බුද්ධිවිෂයක කාර්යයන්හි දීද, සෝවියට් විප්ලවය විසින් තබන ලද තිරසර සටහන කිමෙක්ද? ඒ කාර්යයෙහිලා විප්ලවය විසින් ඉටු කරන ලද හා තවමත් ඉටු කරමින් පවත්නා මෙහෙය කිමෙක්ද? මෙද වනාහී නිදසුන් කිහිපයක් මඟින්ම වටහාගත යුතු කාරණයෙකි.

අපි මෙහෙම බලමු. එදා ඔබ කිර්ගීසියාව ගැන ඇසුවේ ලොව ලොකුම තණ බිමක අසුන්පිට නැඟී බැටළුවන් දැක්කූ ගොපල්ලන්ගේ රටක් හැටියට ය. එහෙත් අද ඔබ කිර්ගීසියාව හඳුන්වන්නේ, මෙසෙමයෙහි ලොවෙහි ජනප්‍රියතම අග්‍රගණ්‍ය සෝවියට් ලේඛකයා ජීවත්වන දේශය හැටියට ය. අසහාය ලේඛක චින්ගීස් අයිත්මාතෝව්ගේ නිජබිම හැටියටය.

1917 දී, බෝල්ෂේවික් විප්ලවය සිදු වන විට, මෙම කිර්ගීසියාවට සාහිත්‍යයක් තබා හෝඩියක්වත් තිබුණේ නැත. වසර සිය දහස් ගණනක් පෑගී සිටි මෙම ගොපලු දරුවනට හෝඩි පොතක් දෙන ලද්දේ, සෝවියට් විප්ලවය විසිනි. විප්ලවය සිදු වන විට, හෝඩියක් නොතිබුණු කිර්ගීසියාවට අද සාහිත්‍යයක් ඇත. ලොවෙහි උසස්ම මානව හිතවාදී සාහිත්‍යයක් ඇත. මුළු මහත් ශිෂ්ට සම්පන්න ලොව ම හිස නමා ආචාර කරන චින්ගීස් අයිත්මාතෝව් නමැති මහා ලේඛකයා ඔවුන්ගේ ය.

විප්ලවය, සෝවියට් දේශයේ සංස්කෘතියටත් බුද්ධිසම්පන්නභාවයටත් කළ මෙහෙයේ එක් පැතිකඩක් හඳුනාගත හැකි එක් නිදසුනක් එසේය.

අපි තවත් විදියකට බලමු. සෝවියට් දේශයේ වෙසෙන ජනතාව අතරට අලුත් මිනිසකු ගෙනෙන ලද්දේ, විප්ලවය විසිනි. ඒ මිනිසා නව යුගයේ සියලු, අභියෝගයන්ට මුහුණ දිය හැකි, නව යුගයේ සියලු බලාපොරොත්තු මූර්තිමත් කරන අනන්ත ජීව භක්තියකින් හෙබි වීරයෙක් විය.

මේ වීරයා සෝවියට් සාහිත්‍යයේ හැම තැනකදීම නිරන්තරයෙන්ම මුණගැසෙයි. නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ පාවෙල් කොචාගින්, මිහායිල් ෂොලහෝව්ගේ ග්‍රිගෝරි පැන්ටලියේවිච්, චින්ගීස් අයිත්මාතෝව්ගේ දුයිෂෙන් ඇතුළු මේ සෝවියට් වීරයා අපට හැම තැනකදීම මුණ ගැසෙයි. වර්තමාන යුගයේ සෝවියට් සාහිත්‍යය පිළිබඳ කතාන්තරය නම්, නව මිනිසකු බවට පත් ව සිටින එකී වීරයාගේ ආස්වාදකර කතාන්තරයයි.

මීට පනස්හය වසරකට පෙර, එනම්: 1934 අගෝස්තු 17 වැනි දින, සෝවියට් ලේඛක සංගමයේ මංගල සැසි වාරය අමතමින්, සෙසු කාරණා අතර, මක්සිම් ගෝර්කි මෙසේ ද ප්‍රකාශ කෙළේ ය.

”නුදුරු අනාගතයේදී ම අතිදක්ෂ ලේඛකයින් එක්දාස් පන්සීයක් විතර බිහිවේය කියල අප බලාපොරොත්තු විය යුතු නැහැ. නමුත් අපගේ සංගමය හේතුකොටගෙන, එවැනි දක්ෂ ලේඛකයින් පනහක් බිහිවේය කියල අපි හිතමු. මේ පනස් දෙනාගෙන් අසමාන ධී ශක්තිය තියෙන පස් දෙනෙක් හිටීවි කියල අපි හිතමු. ඉතිරි හතළිස්පස්දෙනා දක්ෂ ලේඛකයින් වුණහම හොඳට ම ඇති....”

එක්දාස්නවසිය තිස්හතරේදී ගෝර්කි කීවේ එසේ ය. අද සෝවියට් දේශයේ වෙසෙන ලේඛකයින්ගේ සංඛ්‍යාව අටදහස ඉක්මවයි. අද ලොවෙහි බිහි වන පොත් පහකින් එකක්, සෝවියට් පොතකි. ඒවායින් ප්‍රමාණාත්මක සංඛ්‍යාවක් සාහිත්‍ය කෘතීන් ය. මේ නිදසුන්වලින් අප වටහාගන්නා ආශ්චර්යය කිමෙක්ද?

අද සෝවියට් දේශයට වීර ගුණැති නව මිනිසකු මෙන්ම, ධීර ගුණැති නව ලේඛකයකු ද බිහිව සිටින බව ය.

මේ ලේඛකයාගේ ලෝක දෘෂ්ටිය කිමෙක්ද? එද, කුඩා නිදසුන් දෙකක් මඟින් හඳුනාගැනීම පහසු වෙතැයි මම සිතමි. ඩේවිඩ් කුගුල්තිනෝව් නමැති සෝවියට් ලේඛකයා, සාහිත්‍යය දකින්නේ මෙසේ ය.

”සාහිත්‍යය යනු මිනිස් වර්ගයාගේ හෘදයසාක්ෂ්‍යයයි.”

තමන්ට හෘදයසාක්ෂියක් ඇති බැව් සෝවියට් දගෙස්තානයේ ජීවත්වන ශ්‍රේෂ්ටතම සෝවියට් කවියා වන, රසූල් ගම්සාතෝව් කියන්නේ මෙසේ ය.

”ඈත පොරණේ මී මුතුන්නේ

නෙත් පහන් සේ දිලී බබළන

තාරකාවෙනි, ගුවන් හිස සිට

මගේ කවි දෙස එබී බලනා

”රැයේ මැදියම ඉසිඹුලන සඳ

ඇසේ උන් මට කියන මේ බස

යුද සමය බිළිගත් ඔවුන්ගේ

හදේ යුක්තිය වනුය මමිතුර

”උතුම් මවුබිම දගෙස්තානේ

කඳුකරේ වැසියෙක්මි මේ මම

කවුද දන්නේ මතු දිනෙක මා

තාරකාවක් ලෙසින් බිහිවෙද?

”ගුවන් ගැබ සිට ඒ දිනේ් මා

එබී බලමින ඔබේ කවිවල

මගේ යුගයේ සොහොයුරන්නේ

හදේ යුක්තිය ඇද්ද විමසමි”

සැබැවින්ම ජීවිතයේ සෞන්දර්යය කියන, සෝවියට් වැසියාගේ හදවතේ යුක්තිය හෙවත් හෘදයසාක්ෂිය මුළු මහත් ලොවටම පවසන, ජීවිතයේ පරමාර්ථයන් උසස් තැනකට මෙහෙයවා ලන, ජීවිතයත් ජීවත්වීමත් පූර්ණත්වයට පත් කෙරෙන, අර්ථවත් වූද අතිශයින් සුන්දර වූද සාහිත්‍යයක් ඉකුත් කාලය තුළ සෝවියට් දේශයේ බිහිව ඇත්තේ ය. එකී සාහිත්‍යය තුළින් උදාර චරිත ශක්තිය ඇති නව මිනිසෙක් ද බිහිව ඇත්තේය.

ඒ නව මිනිසා බිහිකිරීමට හේතු භූතවුණු උතුම් මානුෂ බලවේගය “උණුහිම” නමැති ජනප්‍රිය නවකතාව ලියූ යූරී බන්දාරෝව් විසින් හඳුන්වා දෙන්නේ මෙසේ ය.

”සෝවියට් සාහිත්‍යයේ කිසිම තැනක සර්වව්‍යාපී අශුභවාදයක් නැත. බලාපොරොත්තු සුන්වීමක් හෝ කෲර හිනාවක් හෝ නැත. මන්ද යත්, අපේ කලාවේ වීරයා ක්‍රියා කරන්නේ මා උදෙසා නොව, මිනිහා මිනිහාට මිත්‍රයකු, සගයකු හා සහෝදරයකු විය යුතුය යන බලාපොරොත්තුවේ පිහිටා වන නිසා ය.”

නොසන්සිඳෙන ජීවයෙන් හා අපමණ බලාපොරොත්තුවෙන් යුතු, අනන්ත සහෘදතාවයෙන් බර වූ ළයෙකින් හෙබි, මේ ශ්‍රේෂ්ඨ සෝවියට් පුරුෂයාගේ හද ගැස්ම සිය ජනතාවටත් අවශේෂ ලෝකයටත් ඇසෙන්නට සැලැස්වීම සෝවියට් ලේඛකයාගේ මෙහෙවර බවට පත්ව ඇත්තේ ය.

http://www.silumina.lk/punkalasa/20090920/_art.asp?fn=ar09092010

No comments:

Post a Comment