Sunday, 11 October 2009

පනස්‌ වසරකට පසු යළි උපන් ප්‍රේමයක්‌


ලොව පවතින කතාන්දරවලින් වඩාත්ම සිත් ගන්නේ ප්‍රේමය තේමා කොටගත් කතාන්දරයි. රෝමියෝ - ජුලියට්‌ සාලිය අශෝක මාලා, ජූලියස්‌ සීසර්, ක්‌ලියෝපැට්‌රා, ඩයනා-අල්පොයිඩ් වැනි ලෝක පූජිත වූ පෙම්වතුන්ගේ කතා දිගින් දිගටම නොනැසී පවතින්නේ. ඒවා ප්‍රේමයේ චමත්කාරයෙන් ද විරහවේ ශෝකයෙන්ද නිර්මිත වූ ඒවා නිසයි.

මේ කතාව ප්‍රේමය වෙනුවෙන් බලා හිඳීම පිළිබඳ කතාවක්‌. පිවිතුරු නොකැලැල් හදක්‌ ඇති ගැහැණියක්‌ ප්‍රේමය පිළිබඳ අවසන් තත්පරය තෙක්‌ බලා හිඳීම පිළිබඳ පිරිසිදු කතාවක්‌.

ඇගේ නම එල්වීරා. ඔහුගේ නම මැකී. එල්වීරා ජීවත් වුණේ ජර්මනියේ. මැකී සිටියේ පෝලන්තයේ. ජර්මනියත් පෝලන්තයත් ආසන්න රටවල් දෙකක්‌.

දෙවන ලෝක යුද්ධය යුරෝපයේ මිනිස්‌ ජීවිත නොසිතූ නොපැතූ වෙනස්‌කම්වලට භාජනයකළ භයානක යුද්ධයක්‌. හිට්‌ලර් ප්‍රමුඛ ජර්මනියේ නාසි හමුදාව නාසින් නොවන සියලු ජනයා ඝාතනය කරමින් ලොව සෙසු රටවල් අල්වාගෙන ශුද්ධ වූ අධිරාජ්‍යයක්‌ ගොඩ නැඟීමේ විශාල යුද්ධයක්‌ දියත් කර තිබුණා.

හිට්‌ලර්ගේ මේ සාහසික භයානක යුද්ධය අවසන් කරනු ලැබුයේ සෝවියට්‌ රුසියාව විසිනුයි. රුසියාව දැවැන්ත ප්‍රතිප්‍රහාරයක්‌ එල්ල කරමින් ජර්මනිය යටත් කරගනු ලැබුවා.

එල්වීරා කියන්නේ මේ වන විට 20 හැවිරිදි යුවතියක්‌. ජර්මනිය යටත්කර ගත් රුසියානුවෝ එල්වීරාත් රුසියාවේ සයිබීරියාවේ වහල් කඳවුරකට ගෙන යනු ලැබුවා. පුරා අවුරුද්දක්‌ ඇය සයිබීරියා වහල් කඳවුරේ කම්කරු ස්‌ත්‍රියක්‌ ලෙස වැඩ කළා. කම්හල් හිමියෙකුගේ දියණියක්‌ ලෙස සැපවත් ජීවිතයක්‌ ගත කළ එල්වීරා සයිබීරියානු කඳවුරේ කෙතරම් දුක්‌ වින්දාද යත් ඇය එතැනින් නිදහස්‌ව එන විට දත් හාරන ඉරටු කෑල්ලක්‌ තරමට කෘශවී සිටියා.

ඇගේ මුළු පවුලම අනාථවී සිටියා. ඔවුන්ට යන්න සිද්ධ වුණේ පෝලන්තයටයි. කෑමට බීමට කිසිත් නැති අන්ත දිළින්දන්ගේ තත්ත්වයට පත්වී සිටි, එල්වීරා පවුල පෝලන්තයේ නගරයක ගෙයින් ගෙට යමින් කෑමට යමක්‌ ඉල්ලා සිටින තත්ත්වයට ඇද වැටී සිටියා.

දිනක්‌ නගරයේ එක්‌ නිවසක දොරට එල්වීරා තට්‌ටු කළ විට ඒ ගෙයි දොර ඇරුණා. මේ දුබල කෙට්‌ටු යුවතිය දුටු එම නිවැසියන් තුළ ලොකු අනුකම්පාවක්‌ ඇති වුණා. ඇයට කෑම බීම දුන් නිවැසියෝ, තොරතුරු විමසා එම නිවසේ නතර වන්නට ඇයට අවසර දුන්නා. එල්වීරා යහපත් යුවතියක ලෙස එම නිවසේ ගොවිපලේ වැඩ කරමින් දෙනුන්ගෙන් කිරි දොවමින් එම නිවසේ බොහෝ කටයුතුවලට උදව් කරමින් කාලය ගත කළා.

මැකී කියන්නේ මේ නිවැසියන්ගේ තරුණ පුත්‍රයා. ඔහුගේ වයස අවු. 25 යි. තම නිවසේ කටයුතුවලට සහාය වන මේ තරුණ යුවතිය ගැන පැහැදුණු ඔහු ඇය සමග පෙමින් බැඳුණා. ඔහුගේ මවුපියන් එයට විරුද්ධ වුණේ නැහැ.

අන්තිමේදී ඔවුන් විවාහ වන්නට තීරණය කළා. ඒ සඳහා නගරයේ පාලන අධිකාරියෙන් අවසර ගත යුතු වුණා.

එතැනදී ප්‍රශ්නයක්‌ මතුවුණා. එල්වීරාගේ පියා ජර්මන් ජාතිකයෙක්‌ නොවීම නිසා විවාහයට අවසර දිය නොහැකි යෑයි පාලන අධිකාරිය කියා සිටියා. ඒ විතරක්‌ නෙමෙයි එල්වීරා සහ ඇගේ පවුලේ අයට එම නගරයෙන් පිටවී යන ලෙසට ද පෝලන්ත නගර අධිකාරිය නියෝග කරනු ලැබුවා.

සියල්ල කණපිට පෙරළී ගියා. විවාහය පිළිබඳ බලාපොරොත්තුව අත්හැර දමන්නට මැකීටත් එල්වීරාටත් සිදුවුණා.

අන්තිමේදී එල්වීරා සහ ඇගේ පවුලේ උදවිය මැකීගෙන් සහ පෝලන්තයෙන් සමුගත්තේ දැඩි සිත් වේදනාවෙන්.

සිහිවටනයක්‌ ලෙස එල්වීරාගේ ඡායාරූපයක්‌ මැකීට දුන්නා. මැකී තමන්ගේ ඡායාරූපයක්‌ එල්වීරාට දුන්නා. ප්‍රේමයේ සිහිවටන වූයේ එපමණයි. මේ සමුගැනීම සිදුවුණේ 1960 වසරේදීයි.

එල්වීරා ඇතුළු පවුලේ අය ආපසු ජර්මනියට ගියා. ස්‌වඋත්සාහයෙන් යළි ඔවුන් ගොඩ නැගෙන්න පටන් ගත්තා.

ඔවුන්ගේ කම්හල යළි ගොඩනඟා ගත්තා. ඒ අතර ඇය බර්ලිනයේ ආබාධිත දරුවන්ට පිහිටවීමේ ආයතනයක වැඩ කළා.

මේ අතරේ නැගෙනහිර ජර්මනියත් බටහිර ජර්මනියත් වෙන් කරමින් සුප්‍රසිද්ධ බර්ලින් තාප්පයද ඉදිවුණා. මේ නිසා මැකීටත් එල්වීරාටත් කොහෙත්ම නැවත මුණ ගැසීමේ බලාපොරොත්තුවක්‌ තබා ගන්න නොහැකි වුණා.

නමුත් එල්වීරා මැකී පිළිබඳ ආදරය කොහෙත්ම අත්හැරියේ නෑ. ඒ ආදරය කෙතරම් ප්‍රබල වීදයත් ඇය විවාහ වූයේ නැහැ. සිය පසුම්බියේ ලා සුරැතිව තබාගත් මැකීගේ තරුණ මුහුණ සහිත කළු සුදු ඡායාරූපය දෙස බලමින් වරින් වර ඇය ශෝක වුණා.

නමුත් මැකී නම් විවාහ වුණා. විවාහ වීමෙන් පසු ඔහු එතෙක්‌ ළඟ තබාගෙන සිටි එල්වීරාගේ ඡායාරූපය තමන්ගේ තාත්තාට භාර කළා. ප්‍රවේශම්කර තබා ගන්නැයි ඉල්ලා සිටිමින්.

කාලය ගෙවී ගියා.

1989 නොවැ( 10 දා බර්ලින් තාප්පය කඩා අහෝසි කිරීමට ගත් තීන්දුව අන්තර් ජාතිකව සුවිශේෂී ප්‍රවෘත්තියක්‌ ලෙස ලොව පැතිර ගියා. එල්වීරා ඒ ප්‍රවෘත්තියට සවන් දුන්නේ සිය මෝටෝ රථයේ තිබූ රේඩියෝවෙන්.

ඇගේ සිත මහත් උද්දාමයෙන් ඇලලී ගියා. බර්ලින් තාප්පය විවෘත වීමත් සමග පෝලන්තයට ගොස්‌ සිය අතීත පෙම්වතා යළි දැකගත හැකි වේ යෑයි ඇයට හැඟුණා.

ඔහු ගැන සොයා බලද්දී ඇයට ලැබුණු ආරංචිය ශෝක ජනකයි. මැකී මියගොස්‌ ඇතැයි යන්න ඒ ආරංචියයි. නමුත් එය වැරදි එකක්‌. මැකීගේ ඥතියෙක්‌ ඇයට හමුවුණා. මැකී ජීවත්ව සිටින බව කී ඔහු මැකීගේ අලුත් නිවසේ ලිපිනයත් ඇයට ලබා දුන්නා.

එල්වීරා මැකීට ලියුමක්‌ යෑව්වා. මැකී වහාම පිළිතුරක්‌ එව්වා. වසර පනහකට පෙර වැළලී ගිය ප්‍රේමය යළිත් පිබිදෙන්නට පටන් ගත්තා.

මේ කාලය තුළ මැකීගේ විවාහය දෙදරා ගොස්‌ තිබුණා. ඔහුගේ බිරිඳ ඇමරිකාවේ පදිංචියට ගොස්‌ සිටි අතර විවාහය දික්‌කසාද වී තිබුණා.

අන්තිමේදී මැකීත් එල්වීරාත් පෝලන්තයේ දුම්රිය පළකදී යළි මුන ගැහෙන්නට නියම කර ගත්තා.

පනස්‌ වසරකට පසු... ඔව් අවුරුදු පනහකට පසු දෙදෙනා පෝලන්ත දුම්රිය පළේදී නැවත මුණ ගැසුණා.

මේ වන විට මැකීට අවුරුදු 75 ක්‌ එල්වීරාට 70 ක්‌.

නමුත් කෙතරම් වියපත් වුවද ප්‍රේමය වියපත් වී තිබුණේ නැහැ. සිය පෙම්වතා හැර අන් කිසිවෙකු සමග විවාහ නොවීමට තින්දු කළ එල්වීරාට ජීවිතයේ අන්තිම භාගයේදී නැවත ඔහු මුණ ගැසුණා.

එතෙක්‌ ඇගේ බලා හිඳීම කෙතරම් ශේ්‍රෂ්ඨද?

එපමණක්‌ නොව මේ ප්‍රේම කතාව කෙතරම් ලස්‌සන කතාවක්‌ දැයි යන්නත් සිතා බලන්න.

මේ සමග පළවන ඡායාරූපය ඔවුන් දෙදෙනා දැන් පදිංචිව සිටින මැකීගේ නිවස ඉදිරිපිටදී 2009 ජුලි 21 දා ගත් පින්තූරයක්‌.

ඒ මුහුණුවල තිබෙන ප්‍රහර්ෂය කෙතරම්දැයි පිරික්‌සා බලන්න.

අයිලන්ඩ් පුවත්පතේ පළවූ ලිපියක්‌ ඇසුරිනි.


චන්ද්‍රසිරි දොඩන්ගොඩ

http://www.divaina.com/2009/10/11/feature20.html

No comments:

Post a Comment