1958 අගෝස්තු 23 හා 24 යන දෙදින පුරා දඹදෙණිය සිරි විජයසුන්දරාරාමයේ දී පැවැත්වුණු සාහිත්‍ය සම්මේලනයේදී ‘දඹදෙණි යුගයේ සාහිත්‍යය’ යන මැයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් කළ දේශනය සාහිත්‍ය මාසය නිමිතිකොට ගනිමින් අපි මෙසේ පළ කරන්නෙමු.
අපගේ ඉල්ලීම අනුව මේ දේශන පිටපත පළකොට තිබූ ‘සාහිත්‍ය තෛ‍්‍රමාසික සඟරාව‘ සිළුමිණ පාඨකයන් වෙනුවෙන් ‘පුන්කලස’ට ලබාදුන් මහාචාර්ය රත්නසිරි අරංගලයන්ට විශේෂ ස්තුතිය හිමිවේ.
සේනාව රජ්ජුරුවො හැටියට උන් සෙනෙවියා ඉස්සරහට එක්ක ගියහම, සේනාධිපතියට බොහොම යටත් පහත් අන්දමට ඉඳල එක පාරට සෙනෙවියාගේ හිස ගසා දැම්මා. එතකොට සිංහල සේනාව කලබල වෙලා ඇයි මොකද කියා ඇහුව.
එතෙන් දි කීවා අපි මේ ක්‍රියාව කෙළේ බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ ආඥාවෙන් ය කියල ඉතින් සිංහලයොත් ඒ පැත්තට ගියා. පස්සෙ ඔක්කොම එක්කහුවෙලා යාපහුවට ගිහිල්ලා බුවනෙකබාහු කුමාරයා එක්ක ඇවිත් මෙහි සිංහාසනාරූඪ කළා.
රාජ්පුත් සේනාව
රාජ්පුත් සේනාව නොසිටියා නම් දඹදෙණිරාජ වංශය එතැනින් ඉවරයි. ඉතින් බුවනෙකබාහු රජ්ජුරුවොත් ටික කලකින් යාපහුවට ගොහින් රාජ්‍යය කරන්ට පටන්ගත්ත. රාජ්‍යය කරන අතරතුරේදී, අවුරුදු 11 ක් රජ කළාට පස්සේ, ආයිමත් අවුල් වියවුල් හැදිල පාණ්ඩ්‍යවරු ලංකාවට ඇවිත් යාපහුවෙන් දන්තධාතූන් වහන්සේත් අරගෙන ගොස් තියෙනව. ඒ කාලයේ ඉතිහාසය බැලුවම හුඟක් අවුල්.
එතෙන් දි ඒ කාලයේ බෝසත් විජයබාහු රජ්ජුරුවන්ගේ පුතෙක් පඬිරටට ගොහින් දන්තධාතූන් වහන්සේත් අරගෙන ඇවිත් තුන් වැනි පරාක්‍රමබාහු නමින් පොලොන්නරුවෙ රාජ්‍ය කරන කොට යාපහුවෙ බුවනෙකබාහු රජ්ජුරුවන්ගෙ පුතෙක් වන 2 වැනි බුවනෙකබාහු රජු ඔහු සමඟ යුද්ධ කරලා දන්ත ධාතූන් වහන්සේ අරගෙන ඇවිත් කුරුණෑගල රාජ්‍යය කළා. ඊට පස්සේ දඹදෙණිය රාජධානියක් වශයෙන් තිබුණේ නැහැ.
රජවරුන්ගේ වාසභවනයක් හැටියට තිබුණෙ නැහැ. දඹදෙණි යුගය විපත්ති අවුල් වියවුල් ඇති වෙච්ච කාලයක් ලංකාවට. එහෙම විපත්ති තිබුණ අතරෙදිත් ලංකාවේ රටේ දියුණුවට හුඟක් වැඩ කරල තියෙනව. උතුර අල්ලාගෙන බැරි උනත්, මේ පළාත්වල ඒ වනතුරු කැලෑවෙන් වැහිල තිබිච්ච ප්‍රදේශ එලි කරලා ජනාවාස කළා.
දඹදෙණි කතිකාවත
බෙන්තර, කළුතර අතර ප්‍රදේශය පොල් උයනක් කළා. ගම්පොළ පැත්තෙ උඩරට නොයෙක් නොයෙක් තැන්වල පාරවල් හදල පාලම් බන්දවල පහසුවෙන් ගමනාගමනය පුළුවන් වෙන විධියට රට හරි ගස්සල තියෙනවා. ඒ ඇරෙද්දි ඒ කාලයේදී ඉතාමත් ම සැලකිය යුතු දෙයක් වුණේ, රජවරු නොයෙක් කරදර අතරේ සතුරු වියවුල් අතරේ සාසනයේ දියුණුවට වැඩ කරලා තිබීමයි. ඒ කාලයේ දී කතිකාවත් දෙකක් පැනෙව්ව. එයින් එකක් දඹදෙණි කතිකාවත කියල මේ වනතුරුම තිබෙනව. ඒ කාලයේ සංඝයා වහන්ස්ලා ප්‍රතිපත්ති ගරුකව සිටිය.
ඒ වගේ ම රජවරු සංඝයාගේ සැප පහසුවට උවමනා සපයාදීම පිණිස බොහොම මහන්සි ගත්තා. ඒ කතිකාවත් බලන කොට පේනවා, ඒ කාලයේ හිටපු සංඝයාවහන්සේලා සාසනය පිරිසිදු ව තියාගන්ට කොපමණ මහන්සි ගත්තා ද කියා. ඒකෙ ප්‍රතිඵලයක් වශයෙන් ඔය කාලෙදි ලංකාවෙන් ථෙරවාද බුද්ධාගම පැතිරිලා ගියා. ඊට ඉස්සර ථෙරවාදය නො තිබුණු රටවල්වලට සියමෙ ඔයිට ඉස්සෙල්ලා මහායානය තිබුණෙ. ඔය කාලෙදි තමයි සියම් මිනිස්සු රාජ්‍යයක් පිහිටුවා ථෙරවාද බුද්ධාගම වැළඳ ගත්තෙ. තම්බරට්ට ප්‍රදේශයෙන් ඉස්සර තිබුණෙ මහායානය.
ථෙරවාදයට ඔය කාලෙදි බොහොම බොහෝ දෙනා ආවේ පොළොන්නරුවෙ හිටපු භික්ෂුන්වහන්සේලා ගේ ක්‍රියාකාරිත්වයෙන්. ඒ හැර කාම්බෝජ දේශයේ ඒ කාලයේ දී එනම් 13 වැනි 14 වැනි ශත වර්ෂ දක්වාම මහායාන බෞද්ධයොයි ශෛවයොයි හිටියෙ. විශාල ගොඩනැඟිලි හදල තියෙනව. ඒ තරම් විශාල ගොඩනැඟිලි හදල තියෙන නිසා අපට පෙනෙනවා. ඒ කාලයේ දී ශිව භක්තියක් මහායානයත් කොතරම් දියුණුව තිබුණ ද කියල නමුත් පසුව ඒ රට ථෙරවාදයට නැමුණ.
ඒ නිසා ඒ අතින් බලනවිට දඹදෙණි යුගය ලංකාවේ බුද්ධ ශාසනය දියුණුව ගැන ඉතාමත් ම සැලකිය යුතු ස්ථානයක් ගන්නවා. ඒ කාලයේ රජවරු ලංකාවේ සංඝයා වහන්සේලාගේ ප්‍රතිපත්ති ආදිය පමණක් නොව ශාස්ත්‍රීය දියුණුව ගැනත් හුඟක් වැඩ කරලා තියෙනවා. පොත්පත් ලියවා තියෙනවා. උගත්තු ඇතිවෙන්ට පොත් තිබෙන්ට ඕනෑ. ඒ නිසා ඒ රජවරු පොත් ලියවල ඉගෙනගන්ට උවමනා අය අතට දුන්නා. එහෙම ලියාපු පොත් එක දෙකක් තවමත් තියෙනවා.
එයින් එකක් මේධංකර මහාස්වාමීන් වහන්සේට පූජා කරපු සුළුවගේ පිටපතක්. දැන් පොළොන්නරු දඹදෙණි යුගය පිළිබඳ ව සාහිත්‍යය ගැන කල්පනා කර බැලීමට උපකාර වෙන ඉතිහාසය ගැන තොරතුරු තරමක් දුරට කියල දුන්නා. තවත් හුඟක් කාරණ කියන්නට පුළුවන්. හුඟක් කාලය ගත්ත නිසා ඔය ඇති කියල හිතෙනවා. ඉතින් දැන් මේ පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් පුළුවන් නම් උත්තර දෙන්නම්.
පර්යේෂණාත්මක කතාවක්
මූලාසනය - දැන් මේ අවස්ථාවේ පැයකුත් විනාඩි අටක් වනතුරු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාණන් කළ ඓතිහාසික ශ්‍රේෂ්ඨ කතාව ඉතාමත් වැදගත් ඓතිහාසික කථාවකින් අභිෂේකයට පත් කළාය කියලා එතුමා ගේ කථාව අපට ගෞරවයෙන් සලකන්නට, ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. එය ඉතාමත් ම, පර්යේෂණාත්මක පැසුණු බුද්ධියෙන් පිඬු කොට ඉතාමත් වැදගත් අන්දමින් කළ කථාවක්.
ඒ නිසා අපි ඒ මේ මහ සභාව වෙනුවෙන් මහාචාර්ය පරණවිතාන මැතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දැන් මේ පඬිතුමාගේ කථාවට අනුව පරාක්‍රමබාහු රජතුමා උපන් ශ්‍රීවර්ධනපුරය ගැන පණ්ඩිත දෙගම්මැද සුමනජෝති ස්ථවිරයන් වහන්සේ සාකච්ඡාවට අදහස් යොමු කරනවා ඇති.
දෙගම්මැද සුමනජෝති හිමියෝ - ගරුතර මූලාසනාරූඪ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. සාකච්ඡා සම්මේලනයට සහභාගි වන ඒ වාගේ ම ඒ සාකච්ඡා සම්මේලනයෙහි රසාස්වාදනය විඳින්නට බලාපොරොත්තු වන ගිහි පැවිදි පින්වතුනි, මුලදී අපේ මහාචාර්ය පරණවිතාන තුමන් පැවැත්වූ කථාවේ පුරාතත්වය පුරාවිද්‍යාව ගැන මට හිතෙනවා යමක් සඳහන් උනේ නැහැ කියල. මම ඒ ශ්‍රීවර්ධනපුරය ගැන අදහස් ඉදිරිපත් කර තිබුණෙ සමහරවිට ඒ පිළිබඳව සඳහනක් ඒවිය කියල. දඹදෙණි යුගයේ පුරාතත්වය පිළිබඳව කියනවා නම් හුඟක් තොරතුරු කිය හැකියි.
සෙවිල්ලක් නැහැ
එතුමා කථාවෙහි සඳහන් කළා මහාවංශය ප්‍රසාද සංවේග දෙක ඇති කරලීම සඳහා ලියූ ඉතිහාස ග්‍රන්ථයක් බව. ඒ ප්‍රසාද සංවේග හොඳ හැටි ම ලබාදෙන යුගයක් තමයි දඹදෙණි යුගය. දඹදෙණි යුගයෙහි නෂ්ටාවශේෂ පිළිබඳව තවම මට හිතෙනවා කිසිම සෙවිල්ලක් කෙරිලා නැත කියලා. අනුරාධපුර, පොලොන්නරු ආදී යුග පිළිබඳව හුඟක් දුරට සොයල තිබෙනවා.
සීගිරිය පිළිබඳව මට හිතෙනවා මුළු ජීවිතයම වාගේ අපේ මහාචාර්ය තුමන් කැප කළා. දඹදෙණි නෂ්ටාවශේෂ ගැන කරුණු සෙව්ව කියන එක මට කියන්නට අමාරුයි. මේ වෙලාවේදි මා එවැනි නෂ්ටාවශේෂ එකක් දෙකක් ගැන සඳහන් කරනවා. තවත් සාකච්ඡාවට සහභාගි වන අය ඉන්නට පුළුවන් නිසා වැඩිය කාලය ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දඹදෙණි පරාක්‍රමබාහු රජතුමා උපන්නේ ශ්‍රීවර්ධනපුරයෙහි කියන මහාවංශයෙන් පැහැදිලියි.
වෙනත් තත්කාලීන ලේඛනවලින් පැහැදිලියි. මේ ශ්‍රී වර්ධනපුරය කුමක්ද කියල නිගමනය කිරීම බොහොම අපහසු කාරණයක් ඒ පිළිබඳව ඉදිරි පත් වී තිබෙන මතභේද ගොඩක් තියෙනව. මේ නගර මේ ළඟම අඩ යොදුණක් ප්‍රමාණයේ තිබුණු බවත් පැහැදිලියි. මේ ශ්‍රීවර්ධනපුරය කුමක්ද කියල නිගමනය බොහොම අපහසු කාරණයක්. මේ ළඟම අඩ යොදුණක් ප්‍රමාණයේ හැතැප්ම තුන හතරකට එහා විශාල නටබුන් තිබෙන පොළොන්නරු යුගයට අයත් කලාත්මක යම් යම් දේ තිබෙන ස්ථානයක් “වෙහෙරගල” නමින් සඳහන් වෙනවා.
මම මුලදී අදහස් කළා මීට අවුරුදු කීපයකට පෙර ඒ ස්ථානය දැකල මහාවංශයේ තොරතුරුත් එක් කරල සංසන්දනය කරල මේ ස්ථානය වෙන්ට පුළුවන් ශ්‍රීවර්ධනපුරය කියල. ඊට පස්සෙ ඒ අදහස මම පත්‍රයකටත් ලියල අපේ ඒ මහාචාර්යතුමා පුරාවිද්‍යා අධිකාරි වෙලා ඉන්න වේලාවෙදි ඉදිරිපත් කළා. මගේ මතකේ හැටියට උන්නැහේ සිතියමේ සටහන් කර ගත්තා. ඊට පස්සේ මේ ප්‍රසාද සංවේග යුගය පිළිබඳව මාත් තරමක් දුරට මාස ගණනක් මුළුල්ලේ සෙව්ව.
හුඟ දෙනෙකුට බලාගන්නට පුළුවන් එහෙම සොයාගෙන යන විට තවත් කීප පලක ජනකතා අනුව තොරතුරු සොයා ගන්ට ලැබුණා. ඒ එක පළක් තමයි ටැම්පිටිගොඩ කියල මේ ළඟ තිබෙන පුරාවස්තු තියෙන තැන. වෙහෙරගල පුරාවස්තුවලටත් වඩා ශ්‍රේෂ්ඨයි. ලංකා මිනුමේදී ඒ කාලේ සිටිය අය මේ පුරා වස්තුවල කිසිම වටිනාකමක් නොදැන ගල්කණු කඩල වලවල්වලට දමලා පස් වහලා තිබුණ බව මට දැනගන්නට ලැබුණා.
සමහරවිට තමන්ට නැතුව යාවි කියල බයෙන් එහෙම කරන්න ඇති. තවමත් හුඟක් දුරට එහි නෂ්ටාවශේෂ තියෙනවා. ජනකථා අනුව මේ පැත්තේ අය අතරේ පවතිනව සමහර විට මෙතන කියල ඒ ශ්‍රීවර්ධනපුරය තිබුණේ. ඒත් අඩ යොදුන් ප්‍රමාණයි. ඊටත් වඩා තවදුරටත් සාක්ෂි සහිතව තවත් ජනප්‍රවාදයක් සාක්ෂි වශයෙන් ඓතිහාසික ශාස්ත්‍රීය සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන් ‘වීරගල’ අලව්වට කිට්ටුව කවුරුත් දන්නවා.
මේ ඉදිරිපත් කරන්නේ ශ්‍රීවර්ධනපුරය ගැන විස්තර තරමක් දුරට ශාස්ත්‍රීය සාක්ෂි අනුවයි. ඉස්සර පුරාවිද්‍යා අධිකාරිව සිටි බෙල් මහත්මයා විසින් වාර්තා ගත කරපු කෑගලු වාර්තාවේ ‘නාරම්බැද්දේ’ ශිලා ලිපියේ සඳහන් වෙනව එහි පරාක්‍රමබාහුය කියල පිරිවෙනක් ගැන.
එතකොට මහාවංශයේ සඳහන් වෙනවා පරාක්‍රමබාහු රජතුමා ශ්‍රීවර්ධනපුරයේ විශාල විහාරයක් කරල, පරාක්‍රමබාහු නමින් පිරිවෙනක් කළ බවත්. ඒත් ඔය නාරම්බැද්දේ ශිලා ලිපියත් වීරගලත් දෙක අතරේ තිබෙන ඓතිහාසික නෂ්ටාවශේෂ අනුව දැනට තිබෙන සාක්ෂි අනුව, ඒවා දුර්වල නමුත් ඒ සාක්ෂි අනුවත්, ජනප්‍රවාද අනුවත්, ඒ ශ්‍රීවර්ධනපුරය වීරගල ප්‍රදේශයත්, නාරම්බැද්දත් ඇතුළු ප්‍රදේශය විය යුතු යැයි මම කල්පනා කරනවා.
මා හිතනවා පරණවිතාන මහතා ඒ ගැන යමක් කියනවා ඇතැයි කියා. දඹදෙණි රාජ්‍ය වර්ෂ පිළිබඳව යමක්, මා සිතනවා එතුමාගේ කථාවේ සඳහන් නූනාදෝ කියල. ඒ කොහොම නමුත් කොච්චර කලක් මේ දඹදෙණි යුගය පැවතුණා ද කියන එක එතනත් බොහොම වැදගත්. මේකයි මා මේ වෙලාවේදී ඉදිරිපත් කරන කාරණය.
මූලාසනය - මීළඟට කොටහේනේ පඤ්ඤාකිත්ති ස්ථවිරයන් වහන්සේ,
කොටහේනේ පඤ්ඤාකිත්ති ස්වාමීන්වහන්සේ, - මූලාසනයේ නායක ස්වාමීන්ද්‍රයන්ගෙන් අවසරයි, පින්වතුනි, මම වචන දෙකයි කතා කරන්නේ. 1936 විද්‍යොදය වාර්ෂික සංග්‍රහයෙහි පරණවිතාන මහතාගේ ලිපියක සඳහන් වෙනවා ජාවක රට ගැන. එදා මෙන් ම අදත් ඒ මහතා ජාවක රට පිළිබඳව සමාන අදහසක් දරන බව පෙනෙනවා.
අන්ධ රට
ඒ පිළිබඳව දඹදෙණියේ වැඩ සිටි මේධංකර මාහිමියන් වහන්සේ ගේ විනය සන්නය ඒක අමුද්‍රිත එකක්. ඒ පොතේ පාඨයක සඳහන් වෙනවා ඒ මහතා කාරණය පරීක්ෂණයට භාජන කරනවා ඇතැයි කියා. මා සිතනවා “අන්ධ නම් අන්ධ රට... අන්ධ නම් තමලිංගරට ජාවක රටයි” කියල. මේ හැටියට ජාවක රට “අන්ධරට” කියන එකයි දඹදෙණි කාලයේ වැඩ සිටි මේධංකර මාහිමියන්ගේ අදහස. පරණවිතාන මහතාගේ විශදඥානයට, විචක්ෂණ බුද්ධියට මේ කාරණය මා යොමු කරවන්නේ සමහරවිට ජාවක රට පිළිබඳව ඒ මහතා අදහස් කරන අදහසට වඩා ‘අන්ධරට’ යන අදහස යෝග්‍යයැයි මගේ කල්පනාව නිසයි.
පරණවිතාන මහතා - අන්ධරටය කියල එතැන තියෙන්නේ දකුණු ඉන්දියාවේ අන්ධරට ද? වෙන එකක් ද? ආන්ධ්‍ර ද? ඒක වෙන්න බැහැ. තමලිංගම් කියන නම මහා නිර්දේශ පාඨයකත් තිබෙනවා. පුරාණ කාලයේ වෙළෙන්දන් යන ප්‍රදේශවල ලැයිස්තුවකය ඇතුළත්වන්නේ. තම්බ්‍රලිංග නම සඳහන් චන්ද්‍ර භානුගෙ ශිලාලිපිය තිබෙන්නේ ‘ජෛයා’ කියන තැන. මලය අර්ධද්වීපයේ ඉහළ කොටසේ.
එතැන ලිපියේ තියෙන්නේ චන්ද්‍රභානු රජ්ජුරුවෝ තාම්බ්‍ර ලිංගේශ්වර කියල. ඒ කියන්නේ තාම්බ්‍රලිංග ප්‍රදේශයට අධිපති කියල. දකුණු ඉන්දියාවෙන් ගිහිල්ලා එතැන ශිලාලිපියක් පිහිටුවන එක තේරුමක් තිබෙනවා යැ. ඒ නම චීන ලිපිවලත් තියෙන්නෙ තන්මලිං කියල. තාම්බ්‍රලිප්ති කියලා බෙංගාලයේ තිබුණු නැව්තොටටත් සමහර සිංහල ලිපිවල තියෙනවා තඹලිංගමුව කියල.
සුමනජෝති ස්වාමීන්වහන්සේ දඹදෙණි යුගයේ පුරාවස්තු ගැන කියන එක ගැන, දඹදෙණි යුගය පිළිබඳ සැලකිය යුතු පුරාවස්තු තිබෙන්නේ යාපහුවෙ. එතැන විශාල නගරයක්, කොටුබැම්මක් තියෙනවා, දළදා මාලිගාව පිහිටි තැන ගල්වැඩ තිබෙනවා. යාපහුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවුරුදු ගණනක සිට වැඩ කළා. ඕනෑ කෙනෙකුට හොඳට බලාගන්නට පුළුවන් විධියට දැන් හරිගස්සල තියෙනවා. ඒ ඇරෙද්දි අනික් කියපු තැන්වල ඒතරම් සැලකිය යුතු දෙයක් ඇතැයි කියල හිතන්න බැහැ.
ගල්කණුවක් දෙකක් නම් ඇති. පොලොව යට මොනව තියෙනවද කියල කවුද දන්නෙ. රත්තරන් තියෙන්න පුළුවන්. මතුපිට තියෙන දේවල් තමයි කියන්නට පුළුවන්. ඔය නැම්බමර, අවට තිබෙන පුරා වස්තු ඔක්කොම දඹදෙණි යුගයට අයිතිය කියල කියන්නට බැහැ. දඹදෙණියේ ප්‍රදේශවල තිබෙන දේවල් කියන්නට පුළුවන්.
දඹදෙණි කිල්ලෝට ද?
දඹදෙණි ප්‍රදේශයත්, යුගයත් දෙකක්. මම දැක්කා පත්‍රයේ තිබුණ මේ ප්‍රදර්ශනයේ කිල්ලෝට වගයක්. දුම්කොළ පෙට්ටියක්. දඹදෙණි කාලයේ පුරා වස්තු හැටියට පෙන්නල, මම හිතන්නේ නැහැ ඒවා දඹදෙණි යුගයෙහි කියල. කොහෙහරි තියෙන්න පුළුවන්. දඹදෙණිය පැත්තේ තිබිල හම්බ උනා කීව පලියට ම පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේය කියල කියන්නට බැහැ. ගල්කණුත් ඒවාගේ වෙන්නට පුළුවන්. විජයබාහු පරාක්‍රමබාහු යන රජවරුන්ට ඉස්සර වෙලත් මේ පෙදෙස්වල මිනිස්සු ඉඳල තියෙනවා. ක්‍රිස්තු වර්ෂයට ඉහත කාලෙයි කියන්නට පුළුවන් ශිලාලිපි හම්බවෙලා තියෙනවා. ඒවා ලැයිස්තුවල තියෙනවා.
දඹදෙණි පුරාවස්තු ගැන සලකන විට විශේෂයෙන් සඳහන් කළ යුතු දෙපොළක් තියෙනවා බෙලිගල ගලින් තනාපු බෝකොටුවක් තියෙනවා. සඳකඩ පහණක් ආදියත් තියෙනවා. අනික් ස්ථානය යාපහුව. කවුරුත් ගොහින් ඇති යාපහුවට. කාටවත් ඔක්කොම තැන්වලට යන්නට පුළුවන්කමක් නැහැ. නොගිය තැන් බොහොම ඇති. එහෙම තැනක් තිබෙනවා නම් ආණ්ඩුවට දැන්වූවාම ඒ සම්බන්ධ කටයුතු භාර මුලාදෑනි ක්‍රියා කරනවා ඇති කියල මට හිතෙනව.
මට ප්‍රශ්නයකට උත්තර දෙන්ට බැරි උනා. දඹදෙණි යුගය කියන්නේ මොකක්ද කියන එක කියන්නට. “කලියුගය” වගේ එකක්ද කියල වෙන්න ඇති අහන්නේ. වැඩි කාලයක් තිබුණේ නැහැ දඹදෙණියේ රජවරු හිටපු කාලය. මාඝ රජ්ජුරුවෝ පොලොන්නරුව අල්ලා ගත්තේ 1215 අවුරුද්දෙ. 2 වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සිංහාසනයට ආවෙ 1236.
තිස්පස් අවුරුද්දයි රජකළේ. විජයබාහු රජ්ජුරුවන් 4 අවුරුද්දයි රජ කළේ. බෝසත් විජයබාර් රජ්ජුරුවන්ට අවුරුදු දෙකක්වත් රජකරන්නට බැරිවුනා. එතකොට ඔක්කොම 41යි. බුවනෙකබාහු රජ්ජුරුවෝ මෙහෙ රාජ්‍යයට ඇවිත් දඹදෙනියේ ටිකක් කල් ඉඳල යාපහුවට ගියා කියල තියෙනවා. රාජ්‍ය කාලය කොච්චරද කියල සඳහන් වෙලා නැහැ. කුරුණෑගල රාජධානිය තිබෙන කාලයේ මේ නගරයත් රාජධානියක් හැටියට තිබුණා.
No comments:
Post a Comment