90 වැනි දශකයේ බිහි වූ කවියකු ලෙස හැඳින්විය හැකි අනිල් නිශාන්ත ලොකුගමරාළ සිය දෙවැනි පද්‍ය එකතුව “අඳුරු වන බිමකි අප නිවසන” නමින් දැන් රසිකයන්ට පිරිනමා ඇත. ඔහුගේ ප්‍රථම පද්‍ය සංග්‍රහය වූයේ “මං මුහුදට බයයි” (2005) යන්නයි.
අනිල්ගේ නව කෘතියේ මුඛ්‍ය සාධනිය ගුණ නම්, ඔහු ගුරු කුල බැඳීම් රහිත නිදහස් කවියකු වීමත් බෙහෙවින් සුඛනම්‍ය, ළයාන්විත, රිද්ම පූර්ණ බසක් නිර්මාණය කරගෙන තිබීමත්ය. කෘතියේ සියලු ම නිර්මාණයන් හි බසේ ආලෝකය නො වෙනස්ව විහිදී පවතී.
නදන මුනි බණ
අසන නිතියෙන
නිවන් පුරයන
පාර නොසොයන
(මව් වලප)
“අඳුරු වන බිමකි අප නිවසන” කෘතියේ සංගෘහිත පද්‍යයන් 36 ඒවායේ නිර්මිතය අනුව දළ වශයෙන් කාණ්ඩ හතරකට බෙදනු කැමැත්තෙමි. ඒ, උපයුක්ත බසින්, අරුත් සම්පාදනය ආදියෙන්. ප්‍රශස්ත සාර්ථකත්වයක් අත් පත් කර ගත් නිර්මාණ, සෞන්දර්යාත්මක වින්දනයක් නිම වන නමුත් අරුත් සම්පාදනය අතින් ද්විතියික වන නිර්මාණ, වෙසෙස් සාධනිය ගුණයක් නො පෙන්වන නිර්මාණ හා එක්් එක් වෙනස් හේතුන් මත දුර්වල යැයි කිය හැකි නිර්මාණ වශයෙනි.
එකී පළමු කාණ්ඩයට අයත් කළ හැකි නිර්මාණ කිහිපයක් විමසමු. කෘතියේ එන මංගල රචනය වන “ජීවිතයේ පෙරවදන” ජීවිතයට පෙම් බඳවන කවියකි. ජීවිතය පිළිබඳ කවියාගේ සුබවාදී හා උපේක්ෂා සහගත දෘෂ්ටිය ඉන් විශද වේ. කවියා ජීවිතය පිළිබඳ නැවුම් සංකල්පනයන් අනුප්‍රාසාත්මක පද සංයෝජනයෙන් අපට පිරිනමයි.
“අලුත් උදෑසන”, හේබා ගිය අපේ ජීවිතයට ප්‍රබෝධාත්මක දිරියක් කාන්දු කරවන, දුර්මුඛව නමා ගෙන සිටින අපේ හිස් ඔසවා ජීවිතය හාත්පස අලුතින් විමසන්නට පොලඹන වාග් මාලාවකි.
කවුරුන්ද මට දුන්නෙ
මේ සතුට
අරුණෝදයේ...
.........
හද රැඳුණු මල් සුවඳ අවුලුවා
නොවැටහෙන හීනයක දැවටෙන්න
අම්මා තමන් හැර දමා ගියෙන්, අක්කා සමඟ අප්පා ළඟ දිවි ගෙවන දරුවකු ඒ අම්මා අමතන, අවෛරී නමුත් ශෝකි ස්වරය “අම්මා වෙතටයි” පද්‍යයෙන් ගලා ඒ.
නුඹට සරාගී සඳ පෑ අමාවකේ
අපට අවා දුක් දැනුණා දිවා රැයේ
.........
කවියාගේ කවි ශක්තිය පානා සේම නිමැවුම රස ගන්වයි.
“හීනයක් ළඟ”, “මව් වලප”, සියුම් මානුෂිය සංවේදනයන් ස්පර්ශ කරන අතර “අලුත් මනාලියට” පද්‍යයෙන් මානුෂිය බැඳීම් වලදී නිදහස හා විවෘත භාවය තිබිය යුතු බවක් කවියා අපට හඟවයි. “වැලපුම් කවිය” ව්‍යංගය හා රූපක වියත් ලෙස පරිහරණය කෙරෙන නිමැවුමකි.
මගේ වර්ගීකරණය අනුව දෙවැනි ගණයට වෙන් කළ හැකි නිර්මාණ කීපයක් ද දක්වමි.
“එන්න මල් නෙළමු සඳ යට”, “සඳ සිහින”, “චමත්කාරයේ කිමිදෙමි” යන එම නිර්මාණ සුගම, මටසිලිටි වදන් පෙළකින් මනහර පරිසර වැනුම් වල යෙදෙතත් නිශ්චිත අනුභූතියක් පදනම් කරගෙන රසික සිත අවුළුවන්නේ නොවේ.
කුරුලු නද සවන් වෑහෙන
මීදුමින් වැසුණු දෙණි පෙත
පන් මලක් පිපි හිනැහේ
රන් කොතක් වගේ යායට
(චමත්කාරයේ කිමිදෙමි)
තුන්වැනිව මා ඉහත සඳහන් කළේ මෙසෙස් සාධනිය ලකුණක් නොපෙන්වන නිර්මාණ ගැනයි. කෘතියට නම දෙන “අඳුරු වන බිමකි අප නිවසන” යන නිර්මාණය නිරස නොවන නමුත් වාර්තා ගුණය නො ඉක්මවන නිසි එල්ලයක් නොමැති එකකැයි හැඟේ.
“මම මගේ ඇස් වසා” රචනය පසුගිය සමයේ බහුලව දක්නට ලැබුණු අනුකාරක ගණයට ළංව යන අතර එහි එන “ඔබේ නෙත් කැළුම් යට සැඟව ඇති මහ දුක” කුමක්දැයි රසිකයාට නොකියවෙන හෙයින් රසයත්, අරුතත්, ඌණ වේ.
“නූපන් දියණියට” පද්‍යය නිරවුල් අරුතක් නූපදවයි. “තාම මුළු ලෝකය ම හොදටෝම කරුවලයි” ආදි වශයෙන් කවියා කරන ප්‍රකාශයන් අහේතුක, අභව්‍ය ස්වභාවයක් ගනි. “පොඩි මිදුල”, “ඡන්දය”, “මලක මහිම” කාව්‍යමය ගුණය රැකුණ ද පිරුණු කවි නො වුණු ක්ෂුද්‍ර නිමිති බැව් පෙනේ. “අබිසරු ලියක් හා කවියෙක්” හිදී අනිල් උපයුක්ත බසෙහි උස් බව රැක ගත්ත ද බිසරු ලියන් කෙරෙහි මානවවාදී කවියන් දක්වන සුපුරුදු සානුකම්පාව ඉක්මවන යමක් එයින් අපට නොලැබෙයි.
අවසන් කාණ්ඩයට මා ඇතුළත් කරන නිර්මාණ අතුරින් “ලොකු මල්ලි”, “අතරමඟදී”, “ඡන්දයට පෙර රැය ගැන විපක්ෂ සගයාගේ දරුවන් කළ පාපෝච්චාරණය”, “කැබිතිගොල්ලෑවේදී”, “වැඩමුළුව“ ආදිය කාව්‍යාත්මක ගුණයෙන් හීන වාර්තා බවට පත්වී ඇත. “උමතු ගුරුතුමී”, මානව ඛේදවාචකයක් චිත්‍රණය කළ ද එය රසිකයාගේ හෘදයට එලෙස ම දනවන්නට නිර්මාණය නො සමත් වේ. හුදු ස්ත්‍රී රූ වැනුමක් වන “ගෞරී” පොතකට ඇතුළත් වීමට තරම් වන රචනයක් නොවේ.
කිසිදු කවියකුගේ නිර්මාණ සමුච්චයක සියල් රචනා සාර්ථක යැයි මිනිය නොහැකි වීම අසාමාන්‍ය අභූත තත්ත්වයක් නොවේ’ සරල යථාවකි. අනිල්ට ද එය පොදුය. එනිසා ම මේ සටහන සමාප්ත කිරීමට අනිල්ගේ වෑයමේ සමස්ථයේ ඵලය තක්සේරු කළ යුතුය. අනිල් සිය පළමු කෘතියේදී ම ආධුනික ලක්ෂණ කිසිවකුදු නො පෙන්වා අපගේ අපේක්ෂා දල්වා තිබිණි. දැන් ඔහු සිය දෙවන කෘතියෙන් වඩාත් පෝෂිත කවි බසකින් ද, කාව්‍යකරණය පිළිබඳ මනා අවබෝධයකින් ද, මනුෂ්‍යත්වය සමාජ හැසිරීම් ආදි ප්‍රපංචයන් පිළිබඳ ගැඹුරු දැක්මකින් ද සන්නද්ධව රසික සමාජය වෙත එළැඹ සිටී. සිය ගණනක් වන නූතන කාව්‍යක්කාරයන් අතරින් සැබෑ කවි ශක්තියෙන් හෙබි ප්‍රතිභාන්විත තරුණ කවියකු ලෙස නිසැකවම අනිල් ඉදිරි පෙළේහිම ස්ථාන ගත කිරීමට මම නිර්ලෝභි වෙමි.
No comments:
Post a Comment